රංගජීව නැවතත් සේවයේ පිහිටවූයේ කොහොමද ??

රංගජීව නැවතත් සේවයේ පිහිටවූයේ කොහොමද ??

23 December 2018 08:13 am

වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ හිටපු පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානයට මාරු කර යවා තිබේ.

 

කිසිවක් සිදු නොවනවාට වඩා එයත් හොඳයැයි යමෙකුට පැවසිය හැකිය. එහෙත් මෙතැන ඇති සැබෑ ප්‍රශ්නය වන්නේ රංගජීව යළි සේවයෙහි පිහිටවූයේ කෙසේද යන්නයි.

රංගජීවගේ අපරාධය

2012 නොවැම්බර් මස 10 වනදා අළුයම වැලිකඩ බන්ධනාගාර පරිශ්‍රයට ඇතුළු වී නම් ලැයිස්තුවකට අනුව සිරකරුවන් පිරිසක් තෝරාගෙන ගොස් ඝාතනය කිරීමේ චෝදනාව පොලිස් පරීක්ෂක රංගජීවට එල්ල වී ඇත. ඔහු එකී සිරකරුවන් තෝරාගෙන රැගෙන ගිය ආකාරය ඇසින් දුටු සාක්ෂිකරුවන් ද සිටී. ඔවුන්ගේ සාක්ෂි වැලිකඩ ඝාතනය පිළිබඳ ත්‍රිපුද්ගල කමිටු වාර්තාවට මෙන්ම අධිකරණය ඉදිරියේ පැවැත්වෙන නඩු විභාගයට ද ඉදිරිපත් කර තිබේ.

එවන් වටපිටාවක් තුළ නියෝමාල් රංගජීව යළි සේවයෙහි පිහිටුවීම කිසිසේත්ම කළ හැක්කක් නොවේ. එහෙත් එය සිදු කර තිබේ.

රංගජීව යළි සේවයේ පිහිටවූ හැටි

රංගජීව පොලිස්පති සහන මැදිරියට අභියාචනයක් ඉදිරිපත් කරන්නේ නොවැම්බර් 19 වනදාය. පොලිස්පතිවරයා එය නොවැම්බර් 20 වනදා ම සලකා බලා නොවැම්බර් 21 වනදා පටන් ඔහුව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේම යළි සේවයෙහි පිහිටුවූයේය.

රංගජීවට එරෙහිව ඇත්තේ මිනීමැරුම් චෝදනාය. එය ද එකක් දෙකක් නොවේ. ඔහුට එල්ල වී ඇත්තේ සමූහ ඝාතන චෝදනාවකි. එවැන්නෙකු යළි සේවයෙහි පිහිටුවන්නේ කෙසේද ?

රාජපක්ෂලාගේ දින 51 පාලනයේ ප්‍රතිඵල

මෙය තනිකරම රාජපක්ෂලා කුමන්ත්‍රණයෙන් බලය ගත් දින 51ක පාලනයේ සෘජු ප්‍රතිඵලයකි. රංගජීව යනු රාජපක්ෂලා වෙනුවෙන් වැලිකඩ බන්ධනාගාරයේදී මිනීමැරූ පුද්ගලයෙකි. ඔහුව බේරා ගැනීම රාජපක්ෂලාගේ පරම යුතුකම සහ චේතනාවයි. පොලිස්පති පූජිත් ජයසුන්දර විසින් රංගජීව යළි සේවයෙහි පිහිටුවූයේ රාජපක්ෂලා පිනවීම සඳහාය.

රංගජීවට යළිත් නිල ඇඳුම හැඳ, ගිනිඅවි අත දරා සමාජයෙහි හැසිරීමට ඉඩ හැරීම යනු ඔහුට එරෙහිව සාක්ෂි දී ඇති සාක්ෂිකරුවන්ට එල්ල කරන දැඩි අයුතු බලපෑමකි. සාක්ෂිකරුවන් සහ වින්දිතයින් ආරක්ෂා කිරීමේ පනත යටතේ එවැන්නක් සිදු කිරීමට කොහෙත්ම ඉඩ නැත.

සාක්ෂිකරුවන්ට තර්ජන !

රංගජීව යළි සේවයට පැමිණ සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ඔහුගේ සුපුරුදු රංගනය ඉදිරිපත් කරමින් සිටී. තවම බය නොවන ලෙසත් තව ටිකක් ඉදිරියට යන ලෙසත් තමන් නාකොටික් රංගජීව බව මතක තබා ගන්නා ලෙසත් තමන් සමාව නොදෙන බවත් ඔහු පවසයි. එය පැහැදිලිව ම සාක්ෂිකරුවන්ට කරන බරපතළ තර්ජනයකි. "පිරිසිදු පාලනයක්" යන්න නොයෙක් වර වර නැඟෙන මෙවන් යුගයක රංගජීවලාට නිදැල්ලේ නටන්නට ඉඩ හැරීම එකී "පිරිසිදු පාලනය" ජනතාවට පොරොන්දු වන උදවියට කොහෙත්ම සුබවාදී නොවන බව සිහිපත් කළ යුතුව ඇත.

Image 1