TNA විතරයි සල්ලි ගත්තෙ නැත්තෙ - මන්ත්‍රී වෙන්දේසිය ගැන එජාප ප්‍රබලයෙකුගෙන් හෙලිදරව්වක් !

TNA විතරයි සල්ලි ගත්තෙ නැත්තෙ - මන්ත්‍රී වෙන්දේසිය ගැන එජාප ප්‍රබලයෙකුගෙන් හෙලිදරව්වක් !

28 December 2018 12:16 pm
පසුගිය දේශපාලන කුමන්ත්‍රණයේදී මන්ත්‍රීවරුන්ට පනින්න වගේම ඉන්නත් කෝටි ගණනින් දොලපිදේනි දුන් බවට ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා සිදුකළ ප්‍රකාශය සියයට සියයක්ම සත්‍ය බව එක්සත් ජාතික පක්ෂ ප්‍රබලයෙකු පවසයි. ඔහු සඳහන් කරන්නේ එදා සහ අද ප්‍රජාතන්ත්‍රවාදය ගැන, ජනතා බලය ගැන කෑමොර දෙන මන්ත්‍රීවරුන් බහුතරයක් පක්ෂයේ රැඳී සිටින්නේ එම සල්ලි මලුවල අනුහසින් බවයි.
'අපේ පක්ෂ අය විතරක් නෙවෙයි මුස්ලිම් පක්ෂවල මන්ත්‍රීවරු, වතුකරය නියෝජනය කරන මන්ත්‍රීවරු, ඒ අයත් මුදල් ගත්තා. සල්ලි මලුවලට කෑදරකමට එහෙට මෙහෙට පැන්නා වගේම සමහර අය පනින එක නැවැත්තුවෙත් සල්ලි මලු පෙන්නුවාට පස්සෙ. අද ඒ අය මහලොකුවට ප්‍රජාතන්ත්‍රවාදය ගැන කෑමොර දෙනවා. බැරිවෙලා හරි අපේ පැත්තෙන් ලැබුණු කුට්ටියට වඩා ලොකු කුට්ටියක් අනිත් පැත්තෙන් පෙන්නුව නං එයාලා අද මහින්ද ලඟ' යනුවෙන් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කරයි.
 
මේ වනවිට මහජන නියෝජිතයන් කෝටි ගණන්වලට අලෙවි වන භාණ්ඩ බවට පත්ව ඇති බවත් මන්ත්‍රීවරුන් වෙන්දේසියේ දමා තිබුණේ මහින්ද රාජපක්ෂලාගේ පාර්ශ්වයෙන් පමණක් නොවන බවත් එජාප ප්‍රබලයා පවසයි. රාජපක්ෂලා මිල ගණන් නියම කළ ඇතැම් එජාප මන්ත්‍රීවරුන් පැත්ත මාරු නොකළේ 'පැනීමට' වඩා ලොකු ඔෆර් එකක් 'නොපැන සිටීමට' ඉදිරිපත් වූ බැවින් බවත් එම තත්වය ඉතිහාසයේ කවරදාටත් වඩා පසුගිය මාස දෙක තුළ නින්දිත අයුරින් ක්‍රියාත්මක වූ බවත් ඔහු පෙන්වා දෙයි.
 
අදාල එජාප ප්‍රබලයා පවසන්නේ මුදල් කුට්ටි මත අලෙවි නොවූයේ ආර්. සම්බන්ධන් මහතාගේ දෙමළ ජාතික සන්ධානය පමණක් බවයි. ටීඑන්ඒ එක් මන්ත්‍රීවරයෙක් මහින්ද පාර්ශ්වය විසින් මිලදී ගත් සිදුවීම හුදෙකලා සිද්ධියක් ලෙස පමණක් හඳුන්වන එජාප ප්‍රබලයා පවසන්නේ අනෙක් ටීඑන්ඒ මන්ත්‍රීවරුන් කිසිදු පාර්ශ්වයකට මුලට බිලිබා ගැනීමට නොහැකි වූ බවයි. පසුගිය මාස දෙක තුළ සිදුවූ නින්දිත දේශපාලන කුමන්ත්‍රණ හමුවේ එය සුවිශේෂී ගුණාංගයක් ලෙස සැලකිය යුතු නමුත් ඒ සඳහා දෙමළ ජාතික සන්ධානයට ලැබිය යුතු වටිනාකම ලබාදීමට එජාපයට නොහැකි වූ බව එජාප ප්‍රබලයා පෙන්වා දෙන්නේ අතිශය කළකිරීමෙනි.
 
'කෝටි ගණනකට අලෙවි වීමට හැකියාව තිබියදී කිසිදු පෞද්ගලික ලාභාපේක්ෂාවකින් තොරව දෙමළ ජාතික සන්ධානය අපිට සහයෝගය ලබාදෙන්න තීරණය කළා. ඒත් අපිට බැරිඋනා ඔවුන්ට ඒ සඳහා ලබාදිය යුතු ගෞරවය ලබාදෙන්න. මොන ක්‍රමයකින් හරි අපි ආණ්ඩුව ආයෙ ගත්තා. ඒත් අන්තිමට මුදල් මලුවලට විකිණුන අය ආණ්ඩු හදද්දි විකිනිච්ච නැති ටීඑන්ඒ එකට විපක්ෂ නායකකමත් නැති උනා. අපි ඒ වෙනුවෙන් මොනවද කළේ ?' එජාප ප්‍රබලයා විමසා සිටී.
 
'පහුගිය මාස දෙකේදි සල්ලි මලු එහාමෙහා උනේ කොහොමද කියන්න අපි හොඳටම දන්නවා. කොළඹ ධනවත් ව්‍යාපාරිකයෙක්ගෙ ගෙදර ඉඳලා රුපියල් 5000 කොළවලින් රුපියල් මිලියන 100 බන්ඩල් අවස්ථා තුනකදී එජාපයට ලැබුණු හැටි අපි දන්නවා. ඒවා කොහෙන්ද ආවෙ, කොහෙටද ගියේ, කාගෙ අතටද ගියේ හැම දෙයක්ම දන්නවා. අවස්ථාව ආපු ගමන් ඒවා එලියට දාන්න සූදානම්.'
 
'එජාපය විතරක් නෙවෙයි මහින්ද පාර්ශ්වයත් නින්දිත විදියට තමයි මන්ත්‍රීවරුන්ට සල්ලි මලු පෙන්නලා තමන්ගෙ පැත්තට බිලිබා ගත්තෙ. පොහොට්ටුවෙ අයට හම්බවෙච්ච ඇතැම් සල්ලි මලු හොල්ලලාවත් නෑ. ඒවා ඩී.එස්. ගුණසේකර කියන ව්‍යාපාරිකයගෙ නිවසක කාමරේක මේ දැනුත් ගොඩගහලා තියනවා. එතකොට හිතාගන්න පුලුවන් නේද කොච්චර සල්ලි එන්න ඇතිද කියලා මහින්දලාගෙ අතට'
 
'පහුගිය මාස දෙකේ දියත් උනේ ඉතාම කැත, නින්දිත දේශපාලන ගේම් එකක්. ඉතිහාසය පුරා මන්ත්‍රීවරුන් වරප්‍රසාදවලට, මුදල්වලට පක්ෂ මාරු කළා. හැබැයි මෙච්චර කල් ඒක උනේ යම් සීමාවක් ඇතුව. ඒත් දැන් එහෙම එකක් නෑ. උදේ හවස මන්ත්‍රීවරුන්ට පුලුවන් උනා තමන්ගේ වටිනාකම වැඩි කරන්න. හරියට ඒක වෙන්දේසියක් වගේ. මේ පැත්තෙන් එක ඔෆර් එකක් කියනකොට අනිත් පැත්තෙන් ඊට වැඩ ඔෆර් එකක් එනවා. අද ප්‍රජාතන්ත්‍රවාදය ගැන කෑගහන ගොඩක් අය ඒ දවස්වල උදේ-හවා වෙන්දේසි උනේ එහෙමයි.'
 
මෙම වෙන්දේසිය පිළිබඳව හෙලිදරව් කිරීම සඳහා තමන් සූදානම් බවත්, ඒ සඳහා තවත් තොරතුරු සපයා ගතුයුතු බවත් එජාප දේශපාලන ප්‍රබලයා පවසයි. එම තොරතුරු සපුරා ගත් සැනින් මෙම නින්දිත සෙල්ලම පිළිබඳව හෙලිදරව් කරන බවත්, එසේ නොමැති වුවහොත් ඉදිරියේදී මහජන නියෝජිතයන් මාළු වෙළඳපොලේ මාලු කෑලි ගණනට අලෙවි වන බවත් අපවෙත කරුණු හෙළිදරව් කළ එජාප ප්‍රබලය අවසාව වශයෙන් ප්‍රකාශ කළේය.