‘‘මට තවත් එක්ස්ටෙන්ෂන් එපා. කරුණාකර මට යන්න දෙන්න!‘‘ - නාවික හමුදාපති ආරක්ෂක ලේකම්ගෙන් ඉල්ලයි.

‘‘මට තවත් එක්ස්ටෙන්ෂන් එපා. කරුණාකර මට යන්න දෙන්න!‘‘ - නාවික හමුදාපති ආරක්ෂක ලේකම්ගෙන් ඉල්ලයි.

30 December 2018 01:31 pm

 නාවික හමුදාපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් සරත්චන්ද්‍ර රණසිංහ මහතා හෙට (31) දිනයේ විශ්‍රාම යාමට නියමිත අතර, ඔහු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාගෙන් කර ඇති විශේෂ ඉල්ලීම වන්නේ තවත් සේවා දිගුවකින් තොරව තමන්ට විශ්‍රාම යාමට ඉඩ දෙන ලෙසයි.

1982 වසරේ නාවික හමුදාවට කැඩෙට් නිලධාරියෙකු වශයෙන් බැඳී නාවික හමුදාපති නිලය දක්වා උසස් වීම් ලද සිරිමෙවන් රණසිංහ නාවික හමුදාපතිවරයා වශයෙන් කටයුතු කරන්නේ 2017 ඔක්තෝබර් 26 දා සිට ය. ඔහු දැනට සිටින්නේ ද සේවා දිගුවක් මත ය. මේ අතර ඔහු අද දිනයේ ආරක්ෂක ලේකම්වරයා හමුවූ අවස්ථාවේදී ආරක්ෂක ලේකම් කියා තිබෙන්නේ ඔහුට තවත් මාස 6 ක සේවා දිගුවක් ලබාදිය හැකි බව ය.

එවිට නාවික හමුදාපතිවරයා ලබාදී ඇති පහත පිළිතුරෙන් ආරක්ෂක ලේකම්වරයා පුදුමයට පත්ව තිබේ.

‘‘කිසිම විදිහකින් මට සේවා දිගුවක් එපා.. මම එහෙම කළොත් මගෙ දෙවැනියා මට සාප කරයි. මගෙ දෙවැනියාත් නාවික හමුදාපති විය යුතුයි. මම තවත් සේවා දිගුවක් ලබාගත්තොත් එවැනි කිහිප දෙනෙකුට උසස්වීම් නැති වෙනවා...“

නාවික හමුදාපතිවරයා තවදුරටත් කියා ඇත්තේ, ‘‘අපිට කවද වුණත් මේක දාල යන්න සිද්ධ වෙනවා. සුදුස්සන්ට තැන අහිමි කරන්න හොඳ නෑ. ඒක අපි දෙන කැත-නරක ආදර්ශයක්“ යනුවෙනි.

එනිසා තමන්ට හෙට දින විශ්‍රාම යාමට කටයුතු සලසා දෙන මෙන් නාවික හමුදාපති සිරිමෙවන් රණසිංහ මහතා ආරක්ෂක ලේකම්වරයා හමුවේ කියා තිබේ.

මෙය අසා ආරක්ෂක ලේකම්වරයා පුදුමයෙන් පුදුමයට පත්ව තිබෙන්නේ, වෙනත් හමුදාවන්වල ප්‍රධානීන් සේවා දිගු ඉල්ලා ආරක්ෂක ලේකම් හරහා ජනාධිපතිවරයාගේ දෙපා මුල හඬා වැටෙද්දී නාවික හමුදාපතිවරයා සිටින අනම්‍ය ස්ථාවරය පිළිබඳව ය.

තමන්ට අසාධාරණයක් වූ බව පවසමින් වෙනත් හමුදාවල ඉහළ නිල දරන්නන්, තමන්ට සාධාරණය ඉටුකරගෙන, ඊට පහළින් සිටින නිලධාරීන් ගණනාවකට බලවත් අසාධාරණයක් කරද්දී සිරිමෙවන් රණසිංහ නාවික හමුදාපතිවරයාගේ මෙම ක්‍රියාව අතිශයින් ප්‍රශංසනීය ය.