ශ්‍රීලනිප 21ක් ආණ්ඩුවට - ජනපති ශ්‍රීලනිප සභාපතිකමෙන් ඉවතට

ශ්‍රීලනිප 21ක් ආණ්ඩුවට - ජනපති ශ්‍රීලනිප සභාපතිකමෙන් ඉවතට

30 December 2018 06:54 pm

රනිල් වික්‍රමසිංහ මහතා අගමැතිධූරයෙන් ඉවත් කර ඊට මහින්ද රාජපක්ෂ මහතා පත්ක්රිමට ජනාධිපතිවරයා ගත් තීන්දුවත් ඒ සමඟම පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ගත් තීන්දුවත් නැවත හැරවීමෙන් පසු මේ වන විට යම් තරමකට දේශපාලන අර්බුදය සමනය වී ඇති බව පෙනෙන්නට තිබේ.

 

එහෙත් ජනාධිපතිවරයා අගමැතිවරයා සම්බන්ධයෙන් පවත්නා විරසකය මෙතෙක් අවසාන වී නොමැති බව දැනටමත් තහවුරු වී ඇත. පසුගිය 29 වැනිදා අමාත්‍යාංශවලට අයත් ආයතන සම්බන්ධයෙන් නිකුත් කළ ගැසට් නිවේදනයෙන්ද එය සංකේත කර තිබුණි. අගමැතිවරයාටත් නොදන්වා ආයතන පැවරීම සමබන්ධයෙන් එජාප ලැයිස්තුවද නොගෙන ජනාධිපතිවරයා කටයුතු කර ඇති බවට අභ්‍යන්තර දේශපාලන ආරංචි මාර්ග අප වෙත අවධාරණය කර තිබුණි. ඒ අනුව ඇවිලුණු දේශපාලන ගින්න නිවී නොමැති බව සැක හැර දන්වා අවසන්ය.

ආසන්නතම සිදුවීම් ලෙස එක්සත් ජාතික පෙරමුණේ ආණ්ඩුවට සහය දක්වන ශ්‍රීලනිප මන්ත්‍රීවරුන්ට ඇමතිකම් ලබා නොදීමට ගත් තීරණය මෙන්ම මේ අතර ජනාධිපතිවරයා පෞද්ගලික සංචාරයක් සඳහා තායිලන්තය බලා ගිය අතර පසුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මුලස්ථානයද ජනාධිපතිවරයා නැවත දිවයිනට පැමිණෙන තුරු තාවකාලිකව වසා දැමුණි.

ජනාධිපතිවරයාගේ තීන්දු තීරණ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ පවත්නා ගැටීම ඊට හේතුව ලෙස පුවත් පළ වුවද ශ්‍රීලනිප මහලේකම් පැවසුවේ වසර අවසානයේ සේවකයන්ට නිවාඩුවක් ලබා දුන් බවයි.

කෙසේ වෙතත් පසුගිය ඔක්තෝම්බර් 26 වැනිදා ඇරඹි දේශපාලන අර්බුදය තවදුරටත් නොයෙක් හැඩයන්ගෙන් පෙන්නුම් කරමින් තිබේ.

ශ්‍රීලනිප 21 ක් ආණ්ඩුවට

පසුගිය 26 වැනිදා සිදුවූ දේශපාලන පෙරළියෙන් පසු මේ වන විට දැඩි අර්බුදයකට ගොස් ඇති බව පෙනෙන්නට ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි. ශ්‍රීලනිප සභාපතිවරයා ලෙස ජනාධිපතිවරයා කටයුතු කරමින් සිටින්නේ ශ්‍රීලනිපයට වාසි දායක වන අයුරින් නොවන බවට ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨයින්ම චෝදනා කරමින් සිටියි.

කෙසේවෙතත් මේ වන විට ශ්‍රීලනිපය රැක ගැනීම වෙනුවෙන් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය පෙරමුණ ගෙන සිටින බව සඳහන්. ජනාධිපතිවරයා නැවත පැමිණෙන තුරු තාවකාලිකව වස දැමුණු මුලස්ථාන කාර්යාලයේ යතුරු තවමත් ඇත්තේ මරදාන පොලිසීය භාරයේය. මෙවැනි අර්බුදකාරී තත්ත්වයන් සමඟ එදා නොබියව මහින්ද රාජපක්ෂ ආණ්ඩුවෙන් ඉවත්වී මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ පිටතට පැමිණි කණ්ඩායම බරපතල කලකිරීමකට ලක්ව සිටියි. එපමණක් නොව ජාතික ආණ්ඩුව තුළ ජනාධිපතිවරයාට සමීපව කටයුතු කළ විජිතමුණි සොයිසා,ඉන්දික බණ්ඩාරනායක,පියසේන ගමගේ ඇතුළු කිහිපදෙනෙක් නැවත ආණ්ඩුවට සහය දැක්වීම තුළ ශ්‍රීලනිපයේ සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අර්බුදය පෙන්නුම් කරමින් තිබේ.

ඒ අනුව ඉදිරි සතිය දේශපාලන පිටියේ බොහෝ සිදුවීම් වාර්තා වනු ඇති බවයි අභ්‍යන්තර ආරංචි මාර්ග පැවසුවේ. එහි එක් සිදුවීමක් ලෙස ශ්‍රීලනිප කණ්ඩායමෙන් මන්ත්‍රීවරු 21 දෙනෙකු පමණ ආණ්ඩුව සහය දක්වමින් යළි ජාතික ආණ්ඩුවක් ඇතිකිරීමේ ඉඩක්ද පවතියි. මේ අතර තවත් සැලකිය යුතු පිරිසක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ( පොහොට්ටුව ) සාමාජිකත්වය හැරයාමේ සූදානමකින්ද පසුවෙයි.

මහින්ද රාජපක්ෂට එරෙහිව "ටී.එන්.ඒ" අධිකරණයට

තවත් සුවිශේෂී කාරණයක් ලෙස වාර්තා වූයේ එළඹෙන ජනවාරි මුල් සතියේදී දෙමළ ජාතික සන්ධානය මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු යොදා තිබීමයි. මහින්ද රාජපක්ෂ මහතා මේ වන විට පොහොට්ටුවේ සාමාජිකත්වය ගෙන ඇති නිසා ඔහු තවදුරටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් හෝ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සාමාජිකයෙකු නොවන බව පෙන්වීමට දෙමළ ජාතික සන්ධානය සූදානමින් සිටියි.

ඒ අනුව මේ වන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එක්සත් ජනතා නිදහස් සන්ධානය කලබලයට පත්ව සිටින අතර සැලසුම් වී ඇති පරිදි මෙම සිදුවීම සිදුවුවහොත් තවදුරටත් ඔවුන්ගේ බලය ගිලිහීම වැලැක්විය විය නොහැකි බව ජ්‍යෙෂ්ඨයින් අවධාරණය කර තිබේ.

මෙම තත්ත්වය මත එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කණ්ඩායමක් ලෙස මන්ත්‍රීවරු පිරිසත් ආණ්ඩුවට එක් වනු ඇති. එහෙත් ඔවුන් ශ්‍රීලනිපය රැක ගැනීම අත්හැර නොමැති බවත් සිය පක්ෂය රැකගැනීම වෙනුවෙන් ජනාධිපතිවරයා පක්ෂ සභාපති ධූරයෙන් ඉවත්කිරීමට වුව සූදානම් බව එහි ජ්‍යෙෂ්ඨයින් එකඟතාවකට පැමිණ ඇති බවයි වාර්තා වුණේ.