නාකොටික් + CID අඩු සද්ද වැඩි වැඩ !

නාකොටික් + CID අඩු සද්ද වැඩි වැඩ !

31 December 2018 02:53 pm

අද (31) දිනයේ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ ඒකාබද්ධ වැටළීමකින් හෙරොයින් කිලෝ 278ක් සහ කොකේන් කිලෝ 5ක් අත් අඩංගුවට ගෙන තිබේ.

 

මෙය මෙතෙක් ඉතිහාසයේ අත් අඩංගුවට ගත් දෙවැනි විශාලතම හෙරොයින් තොගය වේ.

දෙහිවල ප්‍රදේශයෙන් මෙම මත්ද්‍රව්‍ය අත් අඩංගුවට ගෙන ඇති අතර ඒ සමඟ බංග්ලාදේශ ජාතිකයින් දෙදෙනෙක් ද අත් අඩංගුවට ගෙන ඇත.

එම සැකකරුවන් දෙදෙනා දැනට මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය භාරයේ රඳවාගෙන ප්‍රශ්න කරනු ලැබේ.

‍රුපියල් මිලියන 3336කට මෙම හෙරොයින් තොගය මිල කර ඇති බවත් කෝකේන් තොගයේ වටිනාකම රුපියල් මිලියන 75ක් පමණ වන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

මෙම හෙරොයින් තොගය ද අත් අඩංගුවට ගැනීම සඳහා මූලිකත්වය ගෙන කටයුතු කරන ලද්දේ පසුගියදා බේරුවල මුහුදේදී මත්ද්‍රව්‍ය කිලෝ 231ක තොගයක් අත් අඩංගුවට ගැනීමේ වැටළීම මෙහෙයවූ පොලිස් පරීක්ෂක සුබෝධ විසිනි.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය භාර නියෝජ්‍ය පොලිස්පති සංජීව මැද්දෙවත්ත මහතාගේ උපදෙස් යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ද දායකත්වයෙන් මත්ද්‍රව්‍ය වැටළීම් ඉතාම සාර්ථකව ඉදිරියට යමින් පවතී. ඒ, මාධ්‍ය සංදර්ශන රහිතවය.

කෙසේවෙතත් ෆේස්බුක් වීරයෙක් බවට දැන් පත්ව සිටින මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ හිටපු පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව මේ වැටළීමට ද අයිතිවාසිකම් කියන්නට ඉදිරිපත් වන්නට පුළුවන. ඔහු දැනටමත් මේ පිළිබඳව තොරතුරු තමන් සතුව තිබුණු බවත් ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීමට නොලැබුණු බවත් ප්‍රකාශ කර ඇතැයි ද අපට වාර්තා විය. රංගජීව සහ ඔහුගේ ලෝලීන් සිතා සිටින්නේත් මවා පෙන්වමින් සිටින්නේත් රංගජීව නැතිනම් නාකොටික් බියුරෝවක් නැතැයි කියාය. එහෙත් එය හුදු මවාපෑමක්, බොරුවක් බව එහි නිලධාරීන් නිහඬව ම ඔප්පු කරමින් සිටී.

RN