හමුදාපති තමන්ගේ මීඩියා තියරිය විස්තර කරයි !

හමුදාපති තමන්ගේ මීඩියා තියරිය විස්තර කරයි !

4 January 2019 10:41 am

යුධ හමුදා බලයලත් නිලධාරී අංක 1 කණ්ඩායමක් ඊයේ (03) උදෑසන හමුදාපති මහේෂ් සේනානායක මහතා හමුවී තිබේ.

 

එහිදී තමන් මාලි රාජ්‍යයේ සාම සාධක කටයුතු නිරීක්ෂණය කිරීම සඳහා ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදීන් කණ්ඩායමක් එහි යවන බව ඒ මහතා ඔවුන් හමුවේ ප්‍රකාශ කර ඇත.

මාලි රාජ්‍යයෙහි එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදා සේවයෙහි ශ්‍රී ලංකා යුධ හමුදා සාමාජිකයින් කණ්ඩාමයක් ද යොදවා ඇති අතර ඔවුන්ගේ සේවා කටයුතු පිළිබඳ වාර්තා කිරීම සඳහා මෙසේ මාධ්‍ය කණ්ඩායමක් එරටට රැගෙන යාමට නියමිතය. ඒ පිළිබඳව හමුදාපතිවරයා, නිලධාරීන්ට විස්තර කර තිබෙන්නේ පහත අයුරිනි.

"දන්නවද මං ළඟදි යවනවා මාලි වලට අපේ මීඩියා ටීම් එකක්. මාලි ඔපරේශන්ස් බලන්න. මුංට ඉතිං කවද්ද ඕවගේ යන්න හම්බුවෙන්නේ ? මුංව ටුවර් එකක් එක්කන් ගිහිල්ලා, ඇවිදින්න දීලා, හොඳට කන්න දීලා, අඩියක් ගහන්න දීලා, එක්කන් ආවාම ආයෙ මුං ලියන්නේ හමුදාව ගැනම විතරයි. ඕක තමා මෙහෙ මීඩියා කාරයින්ගෙ හැටි."

ලංකාවේ මීඩියාකාරයින් යනු බෝතල් පත්තරකාරයින් වැනි පිරිසක් බවත් බෝතලයක් දී ඕනෑම වැඩක් කරගත හැකි බවත් හමුදාපතිවරයා එහිදී පවසා ඇතැයි වාර්තා වේ.

හමුදාපති මහේෂ් සේනානායක යනු ජනමාධ්‍ය සමඟ ඉතා හොඳ සම්බන්ධතාවක් පවත්වාගෙන යන නිලධාරියෙකි. විශේෂයෙන් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී රවීන්ද්‍ර විජේගුණරත්න මාධ්‍යයට සලකන ආකාරය දෙස බලන විට මහේෂ් සේනානායකගේ හැසිරීම ඉතාම ඉහළ සුහද මට්ටමක පවතින බව සඳහන් කළ යුතුය.

හමුදාපතිවරයා සමඟ අප ද සාකච්ඡා පවත්වා තිබේ. එහෙත් හමුදාපතිවරයාගේ ඉහත ප්‍රකාශය නම් ඉතාම නොමනා එකක් බව පැහැදිලිව ම පැවසිය යුතුය.

හමුදාපතිවරයා ප්‍රකාශ කරන අන්දමේ මීඩියා කාරයින්ද නැතුවා නොවේ. ඒ මහතාට නිතර හමුවන පිරිස ඒ ආකාරයේමද යන්න දන්නේ ඒ මහතාමය. එහෙත් සමස්තයක් ලෙස ශ්‍රී ලංකාවේ ජනමාධ්‍යවේදීන් ගැන ඒ ආකාරයෙන් කතා කිරීම වැරදිය. සියල්ලන් එවන් තැනකට ලඝු කිරීම අසාධාරණයකි.

අනෙත් අතට හිටපු ඉහළ හමුදා නිලධාරීන් අදටත් කරන ප්‍රකාශ දෙස බැලූ විට හමුදාපති මහේෂ් සේනානායක මහතා සම්බන්ධයෙන් රටේ තිබුණේ ඊට බොහෝ වෙනස් චිත්‍රයකි. ජාතික සංහිඳියාව සම්බන්ධයෙන් යම් සලකුණක් තැබීමට හැකියාව ඇති, උනන්දුව ඇති පුද්ගලයකු ලෙස ඔහු දිස්විය. එහෙත් මාධ්‍ය සම්බන්ධයෙන් ඔහු පෙන්වන සුහදත්වය සේම සංහිඳියාව සම්බන්ධ උනන්දුවත් ව්‍යාජයක්ද යන ප්‍රශ්නය මෙහිදී පැන නැඟේ.

මෙහි ඇති රැවටීම කොයි එක වෙතත් මෙවන් ප්‍රකාශ හිතේ තිබුණත් නොකිව යුතු පන්නයේ ඒවාය.

කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් හමුදාපතිවරයාට යම් පිළිතුරක් දීමට ඇත්නම් ඒ සඳහා අප වෙබ් අඩවිය ඕනෑම මොහොතක විවෘතය.