CID වාර්තා කතාව ; ජොනීට CIDය එන්න කියයි !

CID වාර්තා කතාව ; ජොනීට CIDය එන්න කියයි !

7 January 2019 11:16 am

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව භාරව කටයුතු කරන බැවින් දැන් තමන්ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු වාර්තා, වීඩියෝ, සාකච්ඡා තොරතුරු ඇතුළු සියල්ලම ලැබෙන බවට කළ ප්‍රකාශය පිළිබඳව විමසීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවීමට නියමිත බව වාර්තා වේ.

 

ජනාධිපතිවරයා කිසිදු අවස්ථාවක CIDයේ කටයුතුවලට මැදිහත්වීමක් කර නොමැති අතර CID වාර්තා ලබාගෙන හෝ ඉල්ලා හෝ නොමැති බව ආරංචිමාර්ග සඳහන් කරයි. එවන් තත්වයක් යටතේ ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා කළ ප්‍රකාශය ජනාධිපතිවරයාගේ කීර්ති නාමයට හානි කිරීම සඳහා කෙරුණු ද්වේශ සහගත අසත්‍ය ප්‍රචාරණයක් ලෙස ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාගේ ද අවධානයට යොමුව තිබේ.

ඒ මහතා මේ පිළිබඳව CIDයෙන් විමසා ඇති අතර එවන් කිසිදු සිදුවීමක් සිදුවී නොමැති බවත් මංගල සමරවීර මහතා හෝ වෙනත් කිසිවකු සම්බන්ධයෙන් ජනාධිපතිවරයා තමන්ගෙන් වාර්තා ඉල්ලා හෝ තමන් එවන් වාර්තා ලබාදී හෝ නොමැති බව CIDය ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයා වෙත ද දැනුම් දී ඇත.

ඒ අනුව ජනාධිපතිවරයා භාරයේ පොලිස් දෙපාර්තමේන්තුව පවතින හෙයින් තමන්ට CID වාර්තා ලැබෙන බවට කළ ප්‍රකාශය සම්බන්ධයෙන් සවිස්තරාත්මක ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට CIDය හමුවේ පෙනී සිටින ලෙස දන්වා ඇති බවයි වාර්තා වන්නේ.

මීට අමතරව, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඝාතනය කිරීම සඳහා LTTE සංවිධානය සමඟ එක්ව කුමන්ත්‍රණය කිරීම සම්බන්ධයෙන් ද ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට චෝදනා එල්ල වී තිබිණි. හිටපු අගවිනිසුරු මොහාන් පීරිස් මහතා නීතිපතිවරයාව සිටියදී මහින්ද රාජපක්ෂ මහතාගේ ම උපදෙස් මත ඒ සම්බන්ධ නඩු ගොනුව වසා දැමීය. ඒවා ද ඉදිරි කාලයේදී යළි එළියට ඇදෙනු ඇති බව ද ආරංචිමාර්ග සඳහන් කරයි.

සබැඳි පුවත් - 

පොලිසිය ජනාධිපති ළඟ නිසා CID වාර්තා ඔක්කොම අපට එනවා - ජොන්ස්ටන් ජනපතිගේ රෙදි ගලවයි !