නාවික හමුදා කප්පම්කරු මවගේ කණකරත් පැහැරගෙන !

නාවික හමුදා කප්පම්කරු මවගේ කණකරත් පැහැරගෙන !

11 January 2019 03:57 am

කප්පම් ගැනීම සඳහා පුද්ගලයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කරවීම සම්බන්ධ නඩු විභාගයේදී එක් කප්පම්කරුවකු හඳුනාගැනීමට සාක්ෂිකරුවන් පසුගිය 09 වනදා සමත් විය.

 

කොටුව අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා ඉදිරියේ පැවැත්වුණු හඳුනාගැනීමේ පෙරෙට්ටුවේදී එසේ සාක්ෂිකරුවන් විසින් හඳුනාගෙන ඇත්තේ "අන්නාචී" නම් අන්වර්ථ නාමයෙන් හැඳින්වෙන නාවික හමුදා නිලධාරියෙකි. ඔහු තනතුරින් "බල නැවියකු" වන අතර නාවික හමුදා බුද්ධි අංශයට අනුයුක්තව සේවය කර ඇත.

මෙකී නාවික හමුදා කප්පම් කල්ලිය විසින් පැහැරගත් එක් දරුවකුගේ මවට දිගින් දිගටම දුරකථන ඇමතුම් ලබාදෙමින් කප්පම් මුදල් ඉක්මනින් ලබාදෙන ලෙස තර්ජනය කර ඇති අතර එහිදී එම මව ප්‍රකාශ කර ඇත්තේ මුදල් ගෙවීමට පෙර තමන්ට තම දරුවා දැක ගැනීමට අවශ්‍ය බවයි.

අවසානයේ එම කල්ලිය ඊට එකඟවී ඇති අතර රුපියල් ලක්ෂ පහක කප්පම් මුදලත් රැගෙන ත්‍රිකුණාමලයේ තඹලගමුව ප්‍රදේශයේ ස්ථානයකට පැමිණෙන ලෙස ඇයට දැනුම් දී ඇත. ඒ අනුව එහි ගිය මව හමුවීමට පැමිණ ඇත්තේ "අන්නාචී" නම් නාවික හමුදා කප්පම්කරු ය.

ඔහු එහිදී බලහත්කාරයෙන් එම මව සතු රුපියල් ලක්ෂ පහක මුදල මෙන්ම ඇගේ කණකර ආභරණ ද පැහැරගෙන පළාගොස් තිබේ. එම සිදුවීම නිසා ඔහුගේ හැඩරුව, මුහුණුවර ඉතාම හොඳින් ඇයගේ මතකයේ සටහන්ව ඇති අතර ඇය විසින් හඳුනාගැනීමේ පෙරෙට්ටුවේදී ඔහුව නිශ්චිතවම හඳුනාගෙන ඇත.

අන්නාචි නම් සැකකරු සහ තවත් නාවික හමුදා සාමාජිකයකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත් අඩංගුවට ගන්නා ලද්දේ පසුගිය දෙසැම්බර් 18 වනදා ය.

2008 වසරේදී පුද්ගලයින් 11 දෙනෙකු කප්පම් ගැනීම සඳහා පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම සම්බන්ධයෙන් නාවික හමුදා නිලධාරීන් පිරිසකට එරෙහිව හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතා කළ පැමිණිල්ලකට අනුව විමර්ශන සිදු කෙරේ. මීට අදාළව අත් අඩංගුවට ගෙන සිටි හිටපු නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා ඇතුළු පිරිසක් මේවන විට ඇප මත නිදහස් කර තිබේ.

RN