11 දෙනෙකු අතුරුදන් කරවීම ; අධිචෝදනා ප්‍රමාද වෙන්නේ කරන්නාගොඩ නිසා

11 දෙනෙකු අතුරුදන් කරවීම ; අධිචෝදනා ප්‍රමාද වෙන්නේ කරන්නාගොඩ නිසා

17 January 2019 03:05 am

කප්පම් ගැනීම සඳහා පුද්ගලයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කරවීම සම්බන්ධයෙන් නාවික හමුදා කල්ලියකට එරෙහිව පැවැත්වෙන විමර්ශන අවසන් අදියරට පැමිණ ඇති අතර මින් ඉදිරියට සිදුවිය යුත්තේ සැකකරුවන්ට මහාධිකරණයෙහිදී අධිචෝදනා ගොනු කිරීමය.

 

එහෙත් මෙය දිනෙන් දින ප්‍රමාද වන අතර ඒ පසුපස අදිසි දේශපාලන හස්තයක් ක්‍රියාත්මක වන බව වාර්තා වේ.

මීට හේතුවී ඇත්තේ හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතාට එරෙහිව ද අධිචෝදනා ගොනු කිරීමට සිදුව තිබීමයි.

මෙම සිදුවීමෙහි පැමිණිලිකරුවා වන්නේ වසන්ත කරන්නාගොඩ මහතා වන අතර ඔහු මේ සම්බන්ධ පැමිණිල්ල ඉදිරිපත් කරන්නේ 2009 වසරේදීය. පුද්ගලයින් පැහැරගැනීම සිදුව ඇත්තේ 2008 වසරේදීය. කෙසේවෙතත් විමර්ශනවලදී හෙළිවී ඇත්තේ පැමිණිල්ල ඉදිරිපත් කිරීමට බොහෝ කලකට පෙර සිටම මෙම නාවික හමුදා කප්පම් කල්ලිය ගැන වසන්ත කරන්නාගොඩ මහතා දැනුවත්ව සිට ඇති බවත් ඔවුන්ට එරෙහිව කිසිදු පියවරක් නොගෙන සිට ඇති බවත්ය.

එහෙයින් ඔහුට එරෙහිව ද අධිචෝදනා ගොනු කළ යුතුව තිබේ. එහෙත් ඔහුට එරෙහිව අධිචෝදනා ගොනු නොකරන ලෙස ප්‍රබල දේශපාලනඥයෙක් නීතිපති දෙපාර්තමේන්තුවට බලපෑම් කරන බවත් වසන්ත කරන්නාගොඩට එරෙහිව අධිචෝදනා ගොනු කිරීම සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට නොහැකි තැනට නීතිපති දෙපාර්තමේන්තුව පත්ව ඇති බවත් ආරංචිමාර්ග සඳහන් කරයි.

2008 වසරේදී පුද්ගලයින් 11 දෙනෙකු කප්පම් ගැනීම සඳහා පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම සම්බන්ධයෙන් හිටපු නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ඩී. කේ. පී. දසනායක ඇතුළු නිලධාරීන් 12 දෙනෙකු මේවන විට සැකකරුවන් ලෙස නම් කර තිබේ.

RN