රතුපස්වල ඝාතකයින් රකින්නේ කවුද ?

රතුපස්වල ඝාතකයින් රකින්නේ කවුද ?

29 January 2019 10:03 am

පානීය ජලය ඉල්ලා රතුපස්වල ප්‍රදේශයේ වැසියන් කළ උද්ඝෝෂණකයට හමුදාව යොදවා වෙඩි තබා, පහරදී පාසල් සිසුන් දෙදෙනෙකු ඇතුළු තිදෙනෙක් ඝාතනය කර, තවත් 40 දෙනෙකුට ආසන්න ප්‍රමාණයකට තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් විමර්ශන කටයුතු අවසන් කර අදාළ ලිපිගොනු නීතිපති දෙපාර්තමේන්තුව වෙත යවා වසරකට ආසන්න කාලයක් ගතවී ඇතත් තවම කිසිදු ඉදිරි ක්‍රියාමාර්ගයක් ගෙන නොමැත.

 

රතුපස්වල අමානුෂික හමුදා ප්‍රහාරය එල්ල කෙරුණේ 2013 අගෝස්තු 01 වනදාය. මේ සම්බන්ධයෙන් රාජපක්ෂ පාලන සමය තුළ නිසි විමර්ශනයක් හෝ ක්‍රියාමාර්ගයක් නොගැණුනු අතර යහපාලන රජය බලයට පත්වීමෙන් අනතුරුව යළි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විමර්ශනයක් සිදු කරන ලදී.

ඒ අනුව එදින එම හමුදා අනුඛණ්ඩයට අණ දුන් බ්‍රිගේඩියර් දේශප්‍රිය ගුණවර්ධන ඇතුළු හමුදා සාමාජිකයින් තිදෙනෙකු අත් අඩංගුවට ද ගැණුනි. ඒ ඔස්සේ ලබාගත් තොරතුරු අනුව නම් බ්‍රිගේඩියර්වරයා ඇතුළු හමුදා සාමාජිකයින්ට දණ්ඩනීති සංග්‍රහයේ 294 වගන්තිය යටතේ මිනීමැරුම් සම්බන්ධයෙන් අධිචෝදනා භාරදීමට හැකියාව පවතින බව වාර්තා විය.

කෙසේවෙතත් විමර්ශන ගොනු නීතිපති දෙපාර්තමේන්තුව වෙත භාරදී ඇත්තේ 2018 වසරේ පෙබරවාරි මාසයේදී වන අතර මේවන තෙක් අධිචෝදනා ගොනු කිරීමක් සිදුව නොමැත. රතුපස්වල ඝාතකයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම වැළැක්වීම සඳහා යම් අදිසි හස්තයක් නීතිපති දෙපාර්තමේන්තුව වෙත බලපෑම් කරන බව පැහැදිලි සත්‍යයකි.

මාධ්‍යවේදී කීත් නොයාර් පැහරගෙන ගොස් වධහිංසාවට ලක් කිරීම, මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කරවීම සම්බන්ධ විමර්ශනවලට ද සිදුවන්නේ මේ ආනිශංසය මය.

රතුපස්වල ඝාතනය ද 2015 ජනාධිපතිවරණ වේදිකාවේ මහත් බලපෑම් කළ මාතෘකාවක් විය. එදා රතුපස්වලට පය තියාගෙන ගොඩගිය ඇත්තෝ අද ඒ දෙසවත් නොබලනවා මෙන්ම යුක්තියට එරෙහි අගල් කැපීමට ද පෙරට පැමිණ සිටී. දේශපාලනයේ එකම ප්‍රතිපත්තිය පාවාදීම බවට පත් කරගත් නායකයින් සමඟ ඉදිරියට යන රටකට සිදුවන්නේ මේ ටිකය.

රණවිරුවන් ගැන තුන්වේල පුරා බඩේගායෙන් මොරදෙන තක්කඩි දේශපාලනයම මීට ද මැදිහත්වී සිටින බව පැහැදිලිය. එහෙත් මෙයින් ඇත්තෙන්ම අසාධාරණයට ලක්වන්නේ ද සැබෑ රණවිරුවන්මය. මන්දයත් රණවිරුවන් වශයෙන් දැන් රකින්නේ මීනීමරුවන් සහ කප්පම්කරුවන් වැනි අපරාධකරුවන් බැවිනි. මෙයින් සිදුවන්නේ සමස්ත හමුදාවම මිනීමරු, කප්පම් කල්ලියක තත්වයට ඇද දැමීමය.