පාර්ලිමේන්තු ගුටි කෙළිය ; CIDය ඉබි ගමනේ ?

පාර්ලිමේන්තු ගුටි කෙළිය ; CIDය ඉබි ගමනේ ?

31 January 2019 08:10 am

පසුගිය නොවැම්බර් 14, 15, 16 යන දිනවල පාර්ලිමේන්තුවේ ඇති කෙරුණු ගැටුම්කාරී තත්වය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ගෙන යන විමර්ශන කටයුතු අඩාල වී ඇති බව වාර්තා වේ.

 

පාර්ලිමේන්තු සභා ගර්භය තුළ කලහකාරී ලෙස හැසිරෙමින් මහජන දේපළවලට හානි කිරීම සහ පොලිස් නිලධාරීන්ට පහරදීම යන කරුණු දෙක ඔස්සේ විමර්ශන කටයුතු සිදු කෙරුණු අතර පාර්ලිමේන්තු පොලිස් නිලධාරීන් සභා ගර්භය තුළට පැමිණීයේ කථානායක කරූ ජයසූරිය මහතාගේ ආරක්ෂාව වෙනුවෙන් නිසා ඔවුන්ට පහරදීම සම්බන්ධ නීතිමය ක්‍රියාමාර්ග මුලින් ම ගැනීමට නියමිතව තිබිණි.

මෙම නින්දිත ක්‍රියාවලියට අදාළ සියලු පාර්ශ්ව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් හඳුනාගෙන තිබුණු අතර ඔවුන්ට එරෙහිව නඩු පැවරීමට නීතිපති දෙපාර්තමේන්තුවේ ද අනුමැතිවය හිමිව තිබිණි.

එහෙත් යම් අදෘෂ්‍යමාන හස්තයක ක්‍රියාකාරීත්වය විසින් ඉදිරි ක්‍රියාමාර්ග අඩපණ කර තිබෙන බවයි වාර්තා වන්නේ.

මේ සම්බන්ධයෙන් CIDයට මුලදී තිබුණු උනන්දුව මේ වනවිට නැතිවී ඇති බවට සිවිල් සංවිධාන චෝදනා කරන අතර ඔවුන් පවසන්නේ ලබන සතිය වනවිටත් මේ පිළිබඳ නීතිමය ක්‍රියාමාර්ග ආරම්භ නොවන්නේ නම් ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය විහිළුවක් වනු ඇති බවයි.

මේ අතර, සියල්ල සිදුවී අවසන් බැවින් යළිත් එය ඇවිස්සීමේ තේරුමක් නොමැති බව කියමින් ඇතැම් පාර්ශ්ව කථානායකවරයාට බලපෑම් කරමින් සිටින බවත් කථානායකවරයා නිහඬ කිරීමේ උත්සාහයක් දියත් වෙමින් පවතින බවත් ආරංචිමාර්ග සඳහන් කරයි.

ශ්‍රී ලංකාව තුළ සාමාන්‍යයෙන් සිදුවන්නේ නීතිමය ක්‍රියාමාර්ග නොගෙන කාලයක් තිස්සේ ඇදෙන සිදුවීම් අවසානයේ හමස් පෙට්ටියට යාමය. පාර්ලිමේන්තු ගුටි කෙළියටත් ඒ ඉරණම ම අත්වේදැයි යන ප්‍රශ්නය ප්‍රජාතන්ත්‍රවාදය අගයන ජනතාව ඉදිරියේ මතුවී තිබේ.