නීතිපතිතුමනි, දිස්නා වර්ණකුලසූරිය වහාම වීරවංශගේ පාස්පෝට් නඩුවෙන් ඉවත් කරන්න !

නීතිපතිතුමනි, දිස්නා වර්ණකුලසූරිය වහාම වීරවංශගේ පාස්පෝට් නඩුවෙන් ඉවත් කරන්න !

31 January 2019 03:22 pm

අවිධිමත් විදෙස් ගමන් බලපත්‍රයක් භාවිතා කරමින් විදෙස් ගතවීමට උත්සාහ දැරීම සම්බන්ධයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාට එරෙහි
නඩුව අද (31) මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයෙහි දී කැඳවනු ලැබිණි.

 

ඉහත කී චෝදනාව සහ ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කරමින් විදෙස් ගමන් බලපත්‍රයක් ලබා ගැනීම සම්බන්ධයෙන් විමල් වීරවංශ මහතාව අත් අඩංගුවට ගැණුනේ 2015 ඔක්තෝබර් 23
වනදාය. මේ වනවිට වසර තුනකුත් මාස තුනකට අධික කාලයක් ගතවී ඇතත් නීතිමය ක්‍රියාවලිය ඵලදායී ලෙස අඟලක්වත් ඉදිරියට ගොස් නැත.

මීට මූලිකම හේතුවක් වී ඇත්තේ නීතිපති දෙපාර්තමේන්තුවේ පාර්ශ්වයෙන් මෙම නඩුව මෙහෙයවන රජයේ ජ්‍යේෂ්ඨ අධිනීතීඥ දිස්නා වර්ණකුලසූරිය මහත්මිය වීරවංශ පවුලේ හිතවතියක වීමයි. ඇය ශෂී වීරවංශ මහත්මියගේ සහ විමල් වීරවංශ මහතාගේ සමීප හිතවතියකි.

මෙම නඩුව කැඳවෙන්නේ වසරකට දෙවතාවක් පමණය. එහිදී ද නොයෙක් හේතූන් මත නඩුව කල් යයි. මෙය පැහැදිලිව ම කුමන්ත්‍රණයක් බවත් වෙනත් නීතීඥවරයකු විසින් මෙම නඩුව
මෙහෙයවූයේ නම් මීට බොහෝ කලකට පෙර මෙම නඩුව අවසන් කිරීමට හැකියාව තිබුණු බවත් නීතී ක්ෂේත්‍රයේ ප්‍රවීණයින්ගේ අදහසයි.

එසේම මෙම නඩුව ගොනු කිරීම ද හැකි උපරිමයෙන් ප්‍රමාද කිරීමට නීතිපති දෙපාර්තමේන්තුව කටයුතු කර තිබිණි.

විමල් වීරවංශලා රටේ නැති බොරු කියමින්, දේශපාලන බලය වෙනුවන් ජාතිවාදය අවුස්සා රට ගිනි තැබීමට උත්සාහ දරමින් සිටින්නේ වංචනික ක්‍රියාවන් සම්බන්ධයෙන් අතටම හසුවී
සිටියදීත් ය. කටුනායක ගුවන් තොටුපළේ දී ඔහු අතටම හසු වුණේ පාස්පෝට් දෙකක් අත තබාගෙන සිටියදී ය. විමර්ශන වලදී හෙළි වූයේ ඔහු එකක් නැතිවූ බවට ආගමන විගමන පාලකවරයාට බොරු කියා අලුත් පාස්පෝට් එකක් ගෙන ඇති බවය.

වැඩිදුර විමර්ශනවලදී හෙළිවී තිබුණේ වීරවංශ මහතා පස් වතාවකදී පාස්පෝට් ලබාගෙන ඇති බවත් ඉන් තුනක් ම නැතිවූ බව ප්‍රකාශ කර ඇති බවත්ය. මේ අනුව ජාත්‍යන්තර කුමන්ත්‍රණවලින් රට බේරාගැනීමට ඩෙඟා නටන්නේ තම පාස්පෝට් එක තුන්වතාවක් ම බේරා ගැනීමට නොහැකි වූ වීරවංශ කෙනෙකි.

වීරවංශ පවුලට එරෙහිව පවතින්නේ මේ හොර පාස්පෝට් චෝදනාව පමණක් නොවේ. ශෂී වීරවංශ මහත්මියට ද ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර පාස්පෝට් ලබාගැනීම මෙන්ම ව්‍යාජ උප්පැන්න සහතික සකස් කිරීම සහ තම දරුන්වන්ගේ උප්පැන්න සහතික සඳහා ද ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කිරීමේ චෝදනා එල්ල වී පවතී. වීරවංශ මහතා සහ මහත්මිය යන දෙදෙනාට ම උපන් දින දෙක දෙක තිබේ. ඒ, රජයේ වාහන සහ නිවාස තම ඥාතීන්ට හිතවතුන්ට බෙදාදීමේ සහ නීත්‍යානුකූල නොවන ආකාරයෙන් වත්කම් උපයා ගැනීමේ චෝදනාවලට අමතරව ය.

ප්‍රශ්නය වන්නේ ඔහුට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොකිරීමට දෙපාර්ශ්වය ම හවුලේ වැඩ කිරීමය. සරලව කිවහොත් එළියේ පට්ට පතුරු ගසමින්
එකිනෙකා මරාගන්නා බව රටට පෙන්වන දේශපාලනඥයින් ඇතුළෙන් දාගන්නා ඩීල් ය.

දිස්නා වර්ණකුලසූරියව ඉවත් කරන ලෙස අප ඉල්ලා සිටියත් ඇය මෙම නඩුව ප්‍රමාද කිරීමට කටයුතු කරන්නේත් වෙනත් කාගේ හෝ වුවමනාවකට වීමට ද ඉඩ තිබේ. විශේෂයෙන් ජනාධිපති
මෛත්‍රීපාල සිරිසේන මහතා දැන් විමල් වීරවංශ මහතාගේ ඉතා හොඳ හිතවතෙකු වී ඇති තත්වයක් තුළ, එදා "තොළොන්චි වෙලා පලයං සිරිසේන" කී කටින්ම අපූරුවට "අතිගරු
ජනාධිපතිතුමා"යැයි වීරවංශ මහතා කියන තත්වයක් තුළ මෙය වන්නට බැරි දෙයක් නොවේ.

කෙසේවෙතත් ජනාධිපතිවරයා මීට සම්බන්ධයැයි කියන්නට සාක්ෂි නැත. එහෙත් ගුවන් තොටුපළේදී අත් අඩංගුවට ගැණුනු වීරවංශ මහතා එදිනම නිදහස් කෙරුණේ අගමැති රනිල්
වික්‍රමසිංහ මහතාගේ මැදිහත්වීමෙන් බව කියන්නට සාක්ෂි තිබේ. තමන්ම රටට ඉරි ඇඳ පෙන්වන දේශප්‍රේමී - දේශද්‍රෝහී සීමාවන් පවා බිඳ හෙළමින් ඔවුන් එකිනෙකාගේ පිහිට සොයා යන්නේත් ජාතිවාදී - ජාතිවාදයට එරෙහි සීමා බිඳිමින් ඔවුන් එකිනෙකාට පිහිට වන්නේත් ඒ සඳහා රටේ නීතිය තුට්ටු දෙකට වට්ටන්නේත් ඒ ආකාරයෙනි.

මේවා ගැන කියන්නට ඇත්තේ "වැටත් නියරත් ගොයම් කා නම් කාට පවසම් ඒ අමාරුව" කියා පමණය.