STF ලතීෆ්ට පොලිසිය ඇතුළෙන්ම කැපිල්ලක් !

STF ලතීෆ්ට පොලිසිය ඇතුළෙන්ම කැපිල්ලක් !

2 February 2019 01:15 pm

පොලිස් විශේෂ කාර්ය බලකායේ (STF) ප්‍රධානී ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්. ආර්. ලතීෆ් මහතාගේ සේවා කාලය හෙටින් (03) අවසන් වීමට නියමිතය.

 

ලතීෆ් මහතා යනු ඉතාමත් කාර්යශූර ලෙස පොලිස් විශේෂ කාර්ය බලකාය මෙහෙයවා ඉතාම සාර්ථක වැටළීම් රැසක් සිදුකළ දක්ෂ නිලධාරියෙකි.

සාමාන්‍යයෙන් මෙවැනි නිලධාරීන් තමන් විසින්ම සේවා දිගු ඉල්ලා සිටින්නේ නැත. ඔවුන්ගේ විශිෂ්ඨ සේවය සලකා බලා සේවා දිගුවක් ලබා දෙන ලෙස විෂයභාර අමාත්‍යාංශය හරහා ඉල්ලීම් කළ යුතුවන්නේ පොලිස් දෙපාර්තමේන්තුවයි. ලතීෆ් මහතාට සේවා දිගුවක් ලබාදෙන ලෙස ඉල්ලමින් ලිපියක් යැවිය යුතුව තිබුණේ මීට කලකට ම පෙරය. නමුත් මේ වනතෙක් එවන් ලිපියක් පොලිස් දෙපාර්තමේන්තුව විසින් ජනාධිපතිවරයා වෙත යොමු කර නැත.

මීට හේතුව වන්නේ පොලිස්පති පූජිත් සේනාධි බණ්ඩාර ජයසුන්දර මහතා ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලතීෆ් සමඟ හිත නොහොඳින් පසුවීමයි. එසේම, පොලිස්පතිවරයා සිටින්නේ වයස අවුරුදු 60 සම්පූර්ණ කළ කිසිදු නිලධාරියකු පොලිස් සේවය සඳහා අවශ්‍ය නැතිය යන ස්ථාවරයේය.

එහෙත්, විශේෂයෙන් ම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මත්ද්‍රව්‍ය ජාවාරම්වලට එරෙහිව විවෘතවම යුද්ධ ප්‍රකාශ කර ඇති මෙවන් සමයක ලතීෆ් මහතා වැනි අත්දැකීම් සපිරි, පරිණත නිලධාරීන්ගේ සේවය පොලිස් දෙපාර්තමේන්තුවට අත්‍යාවශ්‍ය බව බලධාරීන් සැලකිල්ලට ගත යුතුව තිබේ.