පොලිස්පතිගේ බ්‍රේක් නැති කට නිසා මාකඳුරේ මදුෂ් නිදහස් ?

පොලිස්පතිගේ බ්‍රේක් නැති කට නිසා මාකඳුරේ මදුෂ් නිදහස් ?

5 February 2019 04:41 pm

මාකඳුරේ මදුෂ් ඇතුළු පිරිස අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමට අදාලව උප්පැන්න සහතික ලියාගැනීමට තැත් දරණ අප්පච්චිලා කිහිප දෙනෙකු පිළිබඳව අප අද පස්වරුවේ අනාවරණය කළේය. මේ අපට මගහැරුණු තවත් අප්පච්චි කෙනෙකු පිළිබඳවය.
මේ අප්පච්චිගේ උප්පැන්න සහතික ලියා ගැනීම අනක් අප්පොච්චිලාට, බාප්පොච්චිලාට වඩා අතිශය වැදගත්ය. ඊට හේතුව මේ අප්පච්චි උප්පැන්න සහතික ලියන ආකාරය අනුව නම් හෙට අනිද්දාම, මදුෂ් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම කුල්ල කුජීත වී මාකඳුරේ මදුෂ් නිදහස්වීම පමණක් නොව රාජ්‍යතාන්ත්‍රික ගැටලුවකට මැදිහත්වීමට ශ්‍රී ලංකා රජයට සිදුවිය හැකි වීමයි.
 
මේ කියන අප්පච්චි අන් කවරෙකුවත් නොව වත්මන් පොලිස්පති පූජිත් ජයසුන්දරය. ඔහු පොලිස්පති වූදා පටන් වැඩිපුරම සිදු කළේ පොලීසියට අදාල නොවන රාජකාරිය. වැඩිපුරම කතා කළේ පොලීසියට අදාල නොවන රාජකාරි සම්බන්ධයෙනි. ඔහු යමක් පැවසූ සෑම අවස්ථාවකදීම සිදු වූයේ සමස්ත පොලිස් සේවයම චාටර් වී, සෙසු පොලිස් නිළදරුවන්ද අපහසුතාවට පත් වී එතෙකින් නොනැවතී රජයද අපහසුතාවයට පත්වීමයි.
 
පොලිස්පතිවරයා පවසන්නේ මදුෂ් ඇල්ලීමේ මෙහෙයුම තමන්ගේම වැඩක් බවයි. ඊට තමාගේ උපදෙස් පිට විශේෂ කණ්ඩායම් දෙකක් යොදවා තිබූ බව පොලිස්පතිවරයා පවසයි. ඔහුට අනුව ඩුබායි රජය හෝ ඩුබායි ආරක්ෂ අංශ හෝ ඩුබායි පොලීසිය හෝ මේ සඳහා කිසිදු මැදිහත්වීමක් සිදුකර නොමැත. පොලිස්පතිවරයාගේ ප්‍රකාශයට අනුව පූජිත ජයසුන්දර මහතා තමා යටතේ ඇති පොලිස් කණ්ඩායම් දෙකක් ඩුබායි වෙත පිටත් කොට මදුෂ් ඇතුළු පිරිස ශ්‍රී ලංකා පොලීසියේ ගලග්‍රහණයට හසු කරගෙන ඇත.
 
මෙය අතිශය බරපතල ප්‍රකාශයකි. අපේ රටේ පොලීසියට වෙනත් රටකට ගොස් හිතූ හිතූ ආකාරයෙන් පරීක්ෂණ සිදුකළ නොහැක, වැටලීම් සිදුකළ නොහැක. අපේ රටේ පුරවැසියෙකු වුවද වෙනත් රටකදී අත්අඩංගුවට ගන්නේ නම් ඊට අදාල රාජ්‍යතාන්ත්‍රික නීති-රීති, සම්ප්‍රදායයන් අනුගමනය කළ යුතුය. අදාල රටේ ආරක්ෂක අංශ, අදාල රටේ රජය දැනුවත් කළ යුතුය. සත්‍ය වශයෙන්ම අදාල මෙහෙයුම් සිදු කරන්නේ අදාල රටේ ආරක්ෂක අංශ මගිනි. අපට කළහැක්කේ ඒ සඳහා අවශ්‍ය සහයෝගය ලබාදීම පමණි.
 
පූජිත් ජයසුන්දර මහතාගේ තැන නොතැන නොබලා සිදු කරන ප්‍රකාශ හේතුවෙන්, මෙම ප්‍රකාශ තවත් දුරදිග ගියහොත් මදුෂ් නිදහස් කරන්නැයි ඩුබායි රජයට ඉල්ලා සිටිය හැකිය. ඊට හේතුව වන්නේ පූජිත් ජයසුන්දරට අනුව මදුෂ් ඇතුළු පිරිස අත්අඩංගුවට ගෙන ඇත්තේ ඩුබායි රජයේ හෝ ඩුබායි පොලීසියේ අවසරයක් නොමැතිවය. දෙරට අතර රාජ්‍යතාන්ත්‍රිකභාවයට පටහැනිවය.
 
එවැනි ඉල්ලීමක් කළහොත් ශ්‍රී ලංකා පොලීසියේ නීතිවිරෝධී ක්‍රියා හේතුවෙන් මදුෂ් නිදහස් කිරීමට සිදුවන අතර ඩුබායි රජය හා ශ්‍රී ලංකා රජය අතර රාජ්‍යතාන්ත්‍රික අර්බුදයක් දක්වා ගැටලුව දුරදිග යනු ඇත. එසේ වුවහොත් අද මදුෂ් අත්අඩංගුවට ගැනීම පිළිබඳව උප්පැන්න ලියාගැනීමට වෙහෙසෙන පූජිත් ජයසුන්දරලාට හෙට දිනයේදී අතට හසු වූ දඩයම අතහැරීමට සිදුවීම සම්බන්ධයෙන් කිඹුල් කඳුළු හෙළීමට සිදුවනු ඇත.
 
මේ පොරටෝක් දෙන්නේ සාමාන්‍ය පොලිස් නිළධාරියෙකු නොවේ, පොලීසියේ ඉහළම පුටුවේ සිටින නිළධාරියාය. ඔහුට පොලීසියේ කටයුතු මෙන්ම නීතිය පිළිබඳව, රාජ්‍යතාන්ත්‍රික කටයුතු පිළිබඳව සාමාන්‍ය හෝ දැනුමක් තිබිය යුතුය. එහෙත් මෙවැනි සිදුවීම්වලින් පැහැදිලි වන්නේ වත්මන් පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා, නීතිය පිළිබඳව, රාජ්‍යතාන්ත්‍රිකභාවය පිළිබඳව හද්ද ගොඩේ ගැමියෙකු තරම්වත් මොලේ අටමගලක් නොදන්නා බවය.
 
මාකඳුරේ මධුෂ් ඇල්ලීමටත් තාත්තලා අප්පච්චිලා ගොඩාරියයි !