මධූෂ් පෙන්නා ඩුබායි යන්න හැදූ නඩයට CIDය හරහට හිටී !

මධූෂ් පෙන්නා ඩුබායි යන්න හැදූ නඩයට CIDය හරහට හිටී !

9 February 2019 03:49 am

මාකඳුරේ මධුෂ් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සඳහා යැයි කියමින් රාජ්‍ය නිලධාරී නඩයක් ඩුබායි රාජ්‍ය බලා පිටත් වීමට සූදානමින් සිටින බව "මාකඳුරේ මධුෂ් පෙන්නා මහජන මුදලින් ඩුබායි සවාරියට සූදානම්" යන පුවතෙන් "ලංකා නිව්ස් වෙබ්" අපි හෙළි කළෙමු.

 

ඒ අනුව ඊට සූදානම් වූ නීතිපති දෙපාර්තමේන්තුවේ, ත්‍රස්ත විමර්ශන ඒකකයේ, පොලිස් විශේෂ කාර්ය බලකායේ මෙන්ම පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ ද නිලධාරීන් පිරිසක් පසුගියදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබුණේ ඩුබායි ගමන ගැන කතා කරගන්නටය.

මධුෂ් ඇල්ලූ මෙහෙයුම අහලකවත් නොසිටි නිලධාරීන් ද එම මෙහෙයුමේ අයිතිකරුවන් ලෙස එතැනදී පෙනී සිටීම සිනහවට කරුණක් විය.

කෙසේවෙතත් ඩුබායි ගමන ගැන කතාබහ ආරම්භ වී පිරිස නොයෙකුත් කතන්දර පවසන තෙක් අසාගෙන සිටි CID නිලධාරීන් අවසානයේ විමසා තිබුණේ "හොඳයි, අපි එහෙ ගිහින් කාවද හම්බුවෙන්නේ ?" යනුවෙනි.

සියල්ලන්ම එකිනෙකාගේ මුහුණු දෙස බලන්නට වී ඇති අතර පිළිතුරු නොමැති විනාඩි කිහිපයකට පසු ඩුබායි නඩයේ එක් නිලධාරියෙක් තතනමින් පවසා තිබුණේ "නෑ ඉතිං .. එහේ පොලිසියේ ... කාව හරි ..." යනුවෙන්ය.

ඊට සෘජුවම පිළිතුරු දුන් CID නිලධාරියා "ගියපාර උදයංග ගේන්න ගිහින් මතකනෙ ? එහෙ පොලිසියෙ ලොක්කෙන්ගෙන් හම්බුවෙන්න වෙලාවක් ගන්න බැරුව දවස් ගාණක් හෝටලේකට වෙලා හිටියා. අන්තිමේ ආපහු එන්න ලෑස්ති වෙද්දි, ඊට කලින් දවසෙ තමා වෙලාවක් ලැබුණෙ. ඒකත් විනාඩි 10කට තමා එහෙ පොලිසියෙ කෙනෙක් හම්බෙන්න ලැබුණෙ. මේ පාරත් ඒකමනෙ කරගන්න හදන්නෙ ?

අනික තාම එහෙ පොලිසියෙන් මේක ඉන්ටර්පෝල් එකට දැනුම් දීලාත් නෑ. අපි එහෙ ගිහින් මොනවා කරන්නද ?" යැයි ප්‍රකාශ කර ඇති අතර ඩුබායි සවාරි යන්නට පැමිණි නිලධාරී නඩයට කට උත්තර නැතිව ගොස් තිබේ.

අවසානයේ සභාතොමෝ දුකින් විසිර ගොස් තිබුණේ "CID එකේ ඉන්නෙ මහ නෙගටිව් පොරවල් අප්පා" කියමිනි.