පොලිස්පති තුමනි, මධුෂ්ට එරෙහිව කුඩු චෝදනාවක විස්තර දෙන්න !

පොලිස්පති තුමනි, මධුෂ්ට එරෙහිව කුඩු චෝදනාවක විස්තර දෙන්න !

10 February 2019 10:23 am

පසුගිය 05 වනදා ඩුබායිහිදී අත් අඩංගුවට ගත් පාතාල නායක මාකඳුරේ මධුෂ් නමැත්තා ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම දැඩි අර්බුදයකට ලක්ව තිබෙන බව වාර්තා වේ.

 

එසේ සිදුව ඇත්තේ මාකඳුරේ මධුෂ්ට එරෙහිව ශ්‍රී ලංකාව තුළ කිසිදු මත්ද්‍රව්‍ය චෝදනාවක් නොමැති නිසාය.

පසුගිය දිනවල ගන්දරින්, දෙහිවලින් යනාදී වශයෙන් අත් අඩංගුවට ගත් මත්කුඩු මාකඳුරේ මධුෂ් ගෙන්වූ ඒවා බවට මාධ්‍ය ඔස්සේ ප්‍රචාරණය කෙරුණ ද මෙතෙක් ශ්‍රී ලංකාවේ කිසිදු අධිකරණයක කිසිදු මත්ද්‍රව්‍යයක් සම්බන්ධයෙන් කිසිදු චෝදනාවක් මධුෂ්ට එරෙහිව ගොනු කර නැත.

ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර පොලිස් අංශය දැන් උභතෝකෝටිකට මුහුණ දී සිටින්නේ මාකඳුරේ මධුෂ් ශ්‍රී ලංකාවට ගෙන්වා ගන්නේ කෙසේද යන්න පිළිබඳව ය.

මධුෂ්ට එරෙහිව මිනීමැරුම් චෝදනා ගත්ත ද ඔහුට එරෙහි පළමු මිනීමැරුම් චෝදනාව එල්ල වී ඇත්තේ ඩැනී හිත්තැටිය ඝාතනය සම්බන්ධයෙනි. ඒ, 2006 වසරේදීය. ඉන් පසුව ද මාධ්‍ය මඟින් ප්‍රකාශිත මට්ටමෙන් නොව ඔහුගේ නම ඈඳී ඇත්තේ තවත් මිනීමැරුම් සිද්ධි පහකට පමණ බවත් වාර්තා වේ. ඒවා ද ඔහු සෘජුවම සම්බන්ධ බවට සාක්ෂි ඉදිරිපත් කළ නොහැකි, ඉතා පහසුවෙන් බිඳ දැමිය හැකි නීති තර්ක සහිත සිදුවීම් බව ද සඳහන්.

මේ අතර මධුෂ්ට කුඩු චෝදනා නැතත් මධුෂ්ගේ කුඩු ඇල්ලූ බව කියමින් පදක්කම් සහ මුදල් ත්‍යාග ලබාගත් පොලිස් නිලධාරීන් නම් පොලිස් දෙපාර්තමේන්තුවේ සිටින බව ආරංචිමාර්ග සඳහන් කරයි.

කෙසේවෙතත් මාකඳුරේ මධුෂ් නමැත්තා ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට නම් ඔහුට එරෙහිව ඔප්පු කළ හැකි මට්ටමේ චෝදනා සහිතව උදර්පණ ලේඛන පිළියෙල කළ යුතුව තිබේ. මධුෂ් අත් අඩංගුවට ගැනීම පිළිබඳ උප්පැන්න සහතික දුන් කිසිවකුත් ඊට ඉදිරිපත් වන බවක් පෙනෙන්නට ද නැත.

මීටපෙර, වෙලේසුදා පාකිස්ථානයේ සිට ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට හැකිවුණේ ඔහු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 25ක් හමුවූ නිසාය. මධුෂ් අත් අඩංගුවට පත්වූ අවස්ථාවේදී එතැන සිටි පිරිස අත මත්ද්‍රව්‍ය තිබී ඇතත් ඔහු සන්තකයේ තිබී කිසිදු මත්ද්‍රව්‍යයක් සොයාගෙන ද නැත.

මේ අනුව ශ්‍රී ලංකාවේ ජනාධිපති නීතීඥවරුන් පිරිසක් මධුෂ් වෙනුවෙන් ඩුබායි බලායන බවට ආරංචි පැතිරුණත් ඔවුන්ට ඩුබායිහිදී කළ හැකි දෙයක් නොමැති වුවත් මධුෂ් ඩුබායි පොලිසියෙන් ගැළවෙන ලකුණු නියත වශයෙන්ම පහළ වී තිබේ. කයිවාරු දහසක්, පියවරුන් දහසක් මැද 2019 වසරේ පළමු ජාත්‍යන්තර මට්ටමේ ශ්‍රී ලාංකේය විහිළුව ලෙස මධුෂ් අත් අඩංගුවට ගැනීම නිමවෙන්නටත් අවසානයේ අමල් පෙරේරා සහ රයන් වැන් රෝයන් ඇතුළු පිරිසක් පමණක් සිරගත වන්නටත් බොහෝ ඉඩ ඇත.