නිරෝශන්ගේ ප්‍රකාශය ; ලංකා බැංකුවේ සභාපතිට පැමිණිල්ලක්

නිරෝශන්ගේ ප්‍රකාශය ; ලංකා බැංකුවේ සභාපතිට පැමිණිල්ලක්

10 February 2019 11:56 am

පසුගිය 08 වනදා එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී නිරෝශන් ප්‍රේමරත්න මහතා පාර්ලිමේන්තුවේදී කළ විශේෂ ප්‍රකාශයෙන් පැහැදිලිවම සඳහන් කරන්නේ තමන් තම ව්‍යාපාරය ආරම්භ කිරීම සඳහා ලංකා බැංකුවෙන් රුපියල් කෝටි 8ක මුදලක් ලබාගත්තේ සිය මිතුරෙකු විසින් වසර පහක කාලයක් සඳහා තමන්ගේ නමට ලියාදුන් ඉඩමක් ඇපයට තබා බවයි.

 

වසර පහක කාලයක් සඳහා ඉඩමක් පවරා දිය හැකි වන්නේ කොන්දේසි සහිත පැවරුම්කරයකිනි. ( Conditional transfer) එවන් පැවරුම්කරයක් ඇපයට තබාගෙන රුපියල් කෝටි අටක් තබා සත පහක්වත් ණයට දීමට කිසිදු බැංකු නිලධාරියෙකුට හැකියාවක් නැත.

එසේත් නොමැති නම් එය වසර පහක් සඳහා වූ බදුකරයක් විය යුතුය. වසර පහක බදු ඔප්පුවක් සඳහා මෙවන් ණයක් දීමට ද බැංකුවකට කිසිසේත් නොහැකිය.

එක්කෝ නිරෝශන් ප්‍රේමරත්න මන්ත්‍රීවරයා මුළු පාර්ලිමේන්තුවම ගොනාට අන්දනවා විය යුතුය. පාර්ලිමේන්තුවේ බොහෝ අයට නමට ඇටෝර්නි ඇට් ලෝ පට්ටම් තිබුණාට ඔවුන් දන්නා නීතියක් නැත. එහෙත් නිරෝශන් ප්‍රේමරත්නට රටක් ම ගොනාට අන්දවන්නට ඉඩ ලබාදීම වැරදිය.

එහෙයින් ලංකා බැංකුවේ යළි වැඩ භාරගත් සභාපතිවරයා ලෙස ඔබ විසින් වහාම මේ සම්බන්ධයෙන් විමර්ශනයක් කළ යුතුව ඇත. නිරෝශන් ප්‍රේමරත්නගේ ප්‍රකාශය සත්‍යයක් නම් පාර්ලිමේන්තුවේ පහළ මාලයෙහි ඇති ලංකා බැංකු ශාඛාවේ කළමනාකාරවරයා කර ඇත්තේ බරපතළ වරදකි. ඔහු විසින් පිළිගත හැකි ඇපයක් නොමැතිව රුපියල් කෝටි අටක මුදලක් නිරෝශන් ප්‍රේමරත්න නම් මන්ත්‍රීවරයාට ණයක් ලෙස ලබාදී තිබේ.

මේවා කළමනාකාරවරයාගේ පෞද්ගලික බූදලයක් නොව රටේ අහිංසක ජනතාවගේ තැන්පත් මුදල්ය. ඒවා අවදානමකට ලක් කිරීම සුළුපටු වරදක් නොවේ. එහෙයින් මෙය සත්‍යයක් නම් අදාළ කළමනාකරු අත් අඩංගුවට ගෙන නීතිමය පියවර ගත යුතුව ඇත.

මෙසේ දේශපාලන බලය මත ණය ලබාදී ඒවා ගෙවීම් පැහැර හැරිය පසු අවසානයේ ජනතාවගේ කරමත ඒ බරත් තබමින් බොල් ණය ලෙස කපා හැරිය සිදුවීම් අපට අමතක නැත. යසසිරි කස්තුරිආරච්චිගේ සිදුවීම එවැන්නකි. ඒවා ලංකා බැංකුව තුළ නොවෙන්නට වගබලා ගැනීම ලංකා බැංකු සභාපතිවරයා ලෙස ඔබේ වගකීමයි. එසේම මෙවැනි සිදුවීම් හරහා බිඳවැටෙන්නේ ලංකා බැංකුව කෙරෙහි ඇති ජනතාවගේ විශ්වාසයයි. ලංකා බැංකුවේ කීර්ති නාමයයි.

එනිසා වහාම ක්‍රියාත්මක වී මේ පිළිබඳ නිසි විමර්ශනයක් සිදුකර, බැංකු නිලධාරීන් වරදක් කර ඇත්නම් ඔවුන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙසත් එසේ නොමැතිව නිරෝශන් ප්‍රේමරත්න මන්ත්‍රීවරයා කර ඇති ප්‍රකාශය බොරුවන් නම් එය හෙළිදරව් කරන ලෙසත් ඉල්ලා සිටිමු.