RMV ජගත් ගේ මාරුව අවලංගු කරන්න ‘වාසනා‘ ඉන්දික රටපුරා යයි

RMV ජගත් ගේ මාරුව අවලංගු කරන්න ‘වාසනා‘ ඉන්දික රටපුරා යයි

31 March 2019 11:30 am

බරපතල දුෂණ චෝදනා එල්ලවී තිබෙන මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් ජගත් චන්ද්‍රසිරි ගේ තනතුර රැක ගැනීම සඳහා වාසනා ට්‍රේඩර්ස් වාහන ව්‍යාපාරය අධිපති ඉන්දික සම්පත් මෙරින්චිගේ මේ දිනවල දවස පුරා වෙහෙසෙමින් විවිධ පුද්ගලයන් හමුවෙමින් මුදල් බෙදීම සිදුකරමින් සිටී.

වාහන ආනයනය කරන්නන්ගේ සංගමයේද සභාපතිවරයාද වන ඉන්දික සම්පත් මෙරින්චිගේ සහ කොමසාරිස් ජනරාල් ජගත් චන්ද්‍රසිරි එක්ව සිදුකරන නීති විරෝධී ව්‍යාපාර වෙනත් කොමසාරිස් ජනරාල් වරයකු එම තනතුරට පත් වුවහොත් සිදු කල නොහැකිවීම මෙන්ම පසුගිය කාලය පුරා සිදුකළ කටයුතු හෙළිදරව් වෙතැයි පවතින බිය ඊට හේතුවයි.

ඉතාම අඩු රේගු බදු මුදලක් අයකරන විශේෂ කාර්ය වාහන මෙරටට ගෙන්වා ඒවා සාමාන්‍ය වෑන් රථ හා ද්විත්ය කාර්ය වාහන ලෙස ලියාපදිංචිය සිදුකර එක වාහනයකින් අඩුමතරමින් රුපියල් ලක්ෂ පනහක පමණ බදු වංචාවන් මෙම දෙදෙනා විසින් දිගින් දිගටම සිදු කර තිබේ. මේ කටයුත්තෙන් පමණක් මේ වන විට මොවුන් දෙදෙනා රුපියල් බිලියන ගණනක මුදලක් මේ දෙදෙනා උපයාගෙන තිබේ.

පසුගියදා පාර්ලිමේන්තුවේදී මෙම දෙපාර්තමේන්තුවේ කටයුතු ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ බරපතල චෝදනාවලට ලක්විය. අය වැය කාරක සභා විවාදයේදී ප‍්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍යංශ වැය ශීර්ෂය පිළිබඳ අදහස් දක්වමින් මෝටර් රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තුව හොර ගුහාවක් බවද එය ශ‍්‍රී ලංකාවේ දූෂිතම ආයතනය බවට එය පත්ව ඇතැයිද පක්‍ෂ විපක්‍ෂ මන්ත‍්‍රීවරු පාර්ලිමේන්තුවේදී චෝදනා එල්ල කළහ.

එහිදී දුෂණ චෝදනාවලට ලක්වූ මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් ජගත් චන්ද්‍රසිරි එම තනතුරින් ඉවත් කරන ලෙස ප්‍රවාහන ඇමති අර්ජුන රණතුංග ලබා දුන් නියෝගය ප්‍රවාහන අමාත්‍යංශ ලේකම් එල්.පී.ජයම්පති විසින් තවමත් ක්‍රියාත්මක කර නොමැත.විවිධ පාර්ශව විසින් අමාත්‍යංශ ලේකම්වරයා වෙත එල්ලවන බලපෑම් ඊට හේතුවයි.