දුෂණ වහගන්න ආර්.එම්.වී.ජගත් - තුෂාර සමග ලිපිගොනු වනසයි

දුෂණ වහගන්න ආර්.එම්.වී.ජගත් - තුෂාර සමග ලිපිගොනු වනසයි

4 April 2019 03:56 am

දුෂණ චෝදනා එල්ලවී තිබෙන මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් ජගත් චන්ද්‍රසිරි සහ එම දෙපාර්තමේන්තුවේ තොරතුරු තාක්ෂණ කොමසාරිස් තුෂාර සුරවීර යන දෙදෙනා ඔවුන් සම්බන්ධයෙන් ප්‍රවාහන අමාත්‍යංශය ආරම්භ කර ඇති පරීක්ෂණයට අදාළ දෙපාර්තමේන්තුවේ ලිපිගොණු විනාශ කිරීමේ කටයුත්තක නිරතවී සිටින බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු නිලධාරීහු පවසති.

 

එසේම තුෂාර සුරවීර විසින් මේ වන විට පසුගිය කාලයේ මොවුන් විසින් නියමිත බදු නොගෙවා ලියාපදිංචි කරන ලද වාහනවල ලිපිගොණු සහ දුෂිත ටෙන්ඩර් ලිපි ලේඛන වනසා දැමීමේ කටයුත්තක නිරත වන බව සඳහන්ය.

තුෂාර සුරවීර මීට පෙර කලක් අගමැති කාර්යාලයේද සේවය කර පසුව දුෂණ චෝදනා මත එයින්ද එලවා දැමුවෙකි. ටෙන්ඩර් වංචා සඳහාම ජගත් චන්ද්‍රසිරි විසින් මොහු මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට ගෙන්වා ඇති අතර පසුගිය කාලයේ දුෂිත ටෙන්ඩර ගනනාවක් මොහු විසින් වැඩි මිල ගණන් වලට ලබා දෙන ලදී.

මෙම දෙපාර්තමේන්තුවට පැමිණීමෙන් පසු කෙටි කලක් තුළ ප්‍රකොටිපතියකු බවට පත්වූ මොහු පසුගිය දිනවල කඩුවෙල වැලිවිට ප්‍රදේශයේ රුපියල් මිලියන සියයක පමණ වියදමින් අති නවීන සුපිරි මන්දිරයක් ඉදි කර තිබේ.

මේ තත්වය යටතේ මොවුන් දෙදෙනා එම තනතුරු වල සිටියදී ප්‍රවාහන අමාත්‍යංශය පවත්වන කවර හෝ පරීක්ෂණයක් ප්‍රතිපල රහිත වනු ඇතැයි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු සේවකයෝ පවසති.