නීතිපතිතුමනි, මෙවැනි රටකට ආයෝජකයින් එයිද ?

නීතිපතිතුමනි, මෙවැනි රටකට ආයෝජකයින් එයිද ?

5 April 2019 02:41 am

2009 - 2010 යුගයේදී ඉන්දීය ජාතිකයකු ශ්‍රී ලංකාවට පැමිණ ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ ව්‍යාපෘතියක් සඳහා තවත් ශ්‍රී ලාංකිකයකු සමඟ එකතුව ආයෝජනයක් කර තිබේ. විවේක් ෂර්මා නම් මෙම ඉන්දීය ජාතිකයා ආයෝජනය කර ඇති මුදල ඇමරිකානු ඩොලර් 100,000කි.

 

ව්‍යාපෘතියේ ශ්‍රී ලාංකික හවුල්කරුවා විසින් අවසානයේ ඉන්දීය ජාතිකයාට මුදල් ගෙවීම පැහැර හැර වංචා කර ඇත.

මේ සම්බන්ධයෙ ඉන්දීය ජාතිකයා 2012 වසරේ ජනවාරි මාසයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කර තිබේ. එම පැමිණිල්ල අනුව අදාළ පාර්ශ්ව ගෙන්වා මේ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කර සිදුකර, එහි සියළු උධෘත සහිත ලිපිගොනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් නීතිපති දෙපාර්තමේන්තුව වෙත යවා ඇත්තේ 2012 නොවැම්බර් මාසයේදීය.

මේ වනවිට වසර හතකට ආසන්න කාලයක් ගතව ඇතත් නීතිපති දෙපාර්තමේන්තුව මේ සම්බන්ධයෙන් කිසිදු පියවරක් ගෙන නොමැත. අවම වශයෙන් මෙම නඩු ගොනුව සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා රජයේ නීතීඥවරයකු හෝ පත් කර නැත !

මේ අතර විවේක් ෂර්මා නම් ඉන්දීය ජාතිකයා එදා මෙදාතුර මාස තුනෙන් තුනට ශ්‍රී ලංකාවට පැමිණෙමින් එතැනටත් මෙතැනටත් රස්තියාදු වෙමින් නීතිය ක්‍රියාත්මක කරවා ගැනීමට උත්සාහ දරමින් සිටී. එහෙත් ඉන් කිසිදු ඵලක් මෙතෙක් අත්ව නැත. ඔහු ඉන්දීය ව්‍යාපාරික ජාලයෙහි ප්‍රබල සම්බන්ධකම් ඇත්තෙකු බවත් සඳහන් කළ යුතුය.

මේ පිළිබඳව ලංකා නිව්ස් වෙබ් කළ විමසීමකදී නීතිපති දෙපාර්තමේන්තු නිලධාරියකු අප වෙත කාරුණිකව දන්වා සිටියේ දත්ත ආරක්ෂණ පනත යටතේ මෙවැනි විෂයගත කරුණු සම්බන්ධයෙන් තෙවැනි පාර්ශ්වයක් සමඟ කිසිවක් සාකච්ඡා කළ නොහැකි බවයි. අපි එය පිළිගන්නෙමු.

එසේම, නීතිපති දෙපාර්තමේන්තුවේ වහල තරම් උසට නඩු ගොනු ගොඩගැසී ඇති බවත් ඔවුන්ට මේවා පිළිබඳ කටයුතු අවසන් කරවා ගැනීමට ප්‍රමාණවත් පහසුකම් නොමැති බවත් ප්‍රමාණවත් නිලධාරීන් නොමැති බවත් අපි දන්නෙමු.

එහෙත් මෙය ආයෝජනයක් සම්බන්ධ ප්‍රශ්නයකි. ශ්‍රී ලංකාව ආර්ථික වශයෙන් ශක්තිමත් කරගැනීම සඳහා වැඩි වැඩියෙන් විදෙස් ආයෝජකයින් ගෙන්වා ගැනීමට රටක් වශයෙන් බලාපොරොත්තු වන සමයක එසේ ආයෝජනය කළ ව්‍යාපාරිකයකුට සිය අහිමි වූ මුදල ලබා ගැනීමට නීතිමය ක්‍රියාමාර්ගයත් අවහිර වී වසර හතක් තිස්සේ රස්තියාදු වන්නට සිදුව ඇත්නම් එය ඉතා නරක පූර්වාදර්ශයක් වනවා සේම ශ්‍රී ලංකාවෙහි ප්‍රතිරූපයට ඉතාමත් නරක කැළලක් වන්නේය. එසේම මෙය ආයෝජකයින් පැමිණීමෙන් වැළකෙන හේතුවක් ද වනු ඇත.

එහෙයින් මෙවැනි දෑ සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුව ප්‍රමුඛතාවය දී කටයුතු කළ යුතු බව සිහිපත් කළ යුතුය.