ඉතින් ආයුබෝවන් මැතිතුමනි ගරු......

ඉතින් ආයුබෝවන් මැතිතුමනි ගරු......

5 April 2019 04:52 pm
වත්මන් අගවිනිසුරු නලින් පෙරේරා මහතාගේ ධුර කාලය ලබන අප්‍රේල් 28 වැනිදා වනවිට අවසන් වීමට නියමිත බව වාර්තා වේ. ඒ වත්මන් අගවිසනිසුරුවරයාගේ වයස 65 සම්පූර්ණ වීම හේතුවෙනි.
ඒ අනුව නව අවුරුද්ද උදා වන්නේ නව අගවිනිසුරුවරයෙකුද සමගිනි.
 
 
පසුගිය වසරේ ඔක්තෝබර් 12 වැනිදා අගවිනිසුරු ධුරයට පත් නලින් පෙරේරා මහතාගේ ධුර කාලය මාස කිහිපයකට පමණක් සීමා වුවද එම ධුර කාලය අතිශය තීරණාත්මක විය. ඒනිසාම ඔහු මෙරට අධිකරණ ඉතිහාසයේ කීර්තිමත්ම අගවිනිසුරුවරයෙකු ලෙස ඉතිහාසයට එක්වනු ඇත.
 
ඔක්තෝබර් 26 ව්‍යවස්ථා කුමන්ත්‍රණයට එරෙහිව අගවිනිසුරුවරයා ප්‍රධාන ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීරණාත්මක තීන්දුවක් ලබාදුන් අතර එහිදී පූර්ණ ස්වාධීනව කටයුතු කිරීමට අගවිනිසුරුවරයා සමත් විය. එම තීන්දුව වර්තමානයට පමණක් නොව අනාගතයටද අතිශයින් බලපාන තීන්දුවක් වන අතර ශ්‍රේෂ්ඨාධිකරණය විසින් එදා යම් හෙයකින් වැරදි තීන්දුවක් ලබා දුන්නේ නම් එය අනාගතයටද පූර්වාදර්ශයක් වීමට තිබිණි.
 
ඔක්තෝබර් 26 ව්‍යවස්ථා කුමන්ත්‍රණයට එරෙහිව ලබාදුන් තීන්දුවත් සමගින් අධිකරණය තවමත් විශ්වාසය තැබිය හැකි ආයතනයක් බව ජනතාව තුළ විශ්වාසය තහවුරු කළ අතර ඒ සම්බන්ධයෙන් අගවිසිනිසුරුවරයා ප්‍රධාන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් සියලු දෙනාටම ගෞරවය හිමිවිය යුතුය.
 
නලින් පෙරේරා තමන්ට හිමි වූ අගවිනිසුරු තනතුරෙන් බැබලීමට උත්සාහ නොකළ අතර, ඔහු කටයුතු කළ ආකාරයෙන් නලින් පෙරේරා මහතා අගවිනිසුරු තනතුරට ආභරණයක් විය. 
 
එපමණක් නොව නලින් පෙරේරා මහතා යනු සිය තනතුරෙන් හිස උදුම්මවා නොගත්, සිය තනතුර අනිසි ලෙස භාවිතා නොකළ සැබෑ මහත්මයෙකි. මේ ඒ සඳහා එක් උදාහරණයකි.
 
අගවිනිසුරුවරයා පදිංචි නිවස අසල ජීවත් වූ ගණකාධිකාරීවරයෙකුගේ ක්‍රියාකලාපය හේතුවෙන් අගවිනිසුරුවරයාට ගැටලුවක් ඇති වූ අතර එහිදී කලබලයට පත් වූ නොවූ නලින් පෙරේරා මහතා කළේ පළමුව සිය ආරක්ෂකයන් ලවා අදාල තැනැත්තාට උපදෙස් ලබාදීමයි. ඔහු උපදෙස් පිළි නොපැදීම නිසා සහ තවදුරටත් අදාල පුද්ගලයාගෙන් කරදර සිදුවීම නිසා අගවිනිසුරුවරයා අදාල පුද්ගලයට එරෙහිව පොලීසියේ පැමිණිල්ලක් සිදුකර ඊට අදාල නීතිමය ක්‍රියාමාර්ග ගත්තේය.
 
එපමණක් නොව ඔහු සිය නිවස අත්හැර අගවිනිසුරු නිළ නිවසේ පදිංචියට ගියේය.
 
නලින් පෙරේරා මහතාට අවශ්‍ය නම් සිය බලය භාවිතා කරමින් අදාල පුද්ගලයට එරෙහිව කටයුතු කිරීමට තිබිණි. එසේ නැතහොත් සිය ආරක්ෂකයන් ලවා ගණකාධිකාරීවරයාට අඩන්තේට්ටම් කිරීමට තිබිණි. ඉහළ පෙළේ රාජ්‍ය නිළධාරීන් සිය බලය අයුතු ලෙස භාවිතා කරමින් තමන්ගේ එදිරිවාදීන් අතුරුදන් කළ, මරාදැමූ, අත-පය බිඳ දැමූ ඉතිහාසයක් අප පසුකර තිබේ. ඒ නිසා නලින් පෙරේරා මහතාගේ ක්‍රියාකලාපය සුවිශේෂී වේ.
 
ඒ ඔහු සිය තනතුරෙන් හිස උදුම්මවා නොගත් සැබෑ මහත්මයෙක් නිසාය.
නලින් පෙරේරා මහතාගේ සමුගැනීම වෙනුවෙන් විශේෂ උත්සවයක් අද ශ්‍රේෂ්ඨාධිකරණයේදී පැවැත්විණි.
 
නව අගවිනිසුරු ධුරය සඳහා නම් කිහිපයක්
 
ඉදිරි සති කිහිපය තුළ අගවිනිසුරු තනතුර සඳහා සුදුසුකම් සහිත පුද්ගලයන්ගේ නම් ජනාධිපතිවරයා විසින් ව්‍යවස්ථාදායක මණ්ඩලය වෙත නිර්දේශ කිරීමට නියමිතය.
 
ජනාධිපතිවරයා විසින් නිර්දේශ කිරීමට සිටින පුද්ගලයන් අතර ඉදිරියෙන්ම සිටින්නේ වත්මන් නීතිපති ජයන්ත ජයසූරිය මහතායි. ඔහු ලබන දෙසැම්බර් 02 වැනිදා වනවිට නීතිපතිධූරයෙන් විශ්‍රාම ගැනීමට නියමිත වේ. ඒ වයස අවුරුදු 60 සම්පූර්ණවීම හේතුවෙනි. ඔහු අගවිනිසුරු තනතුරට පත්වුවහොත් වසර පහ හමාරක කාලයක් අගවිනිසුරුවරයා ලෙස කටයුතු කිරීමට හැකියාව ලැබේ.
 
මීට අමතරව වත්මන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් අතරින් බුවනෙක අළුවිහාරේ, සිසිර ආබෘෘ සහ ප්‍රසන්න ජයවර්ධන යන විනිසුරුවරුන් ද බොහෝදුරට ජනාධිපතිවරයා විසින් නිර්දේශ කරනු ඇත. මින් බුවනෙක අළුවිහාරේ මහතාට වයස අවුරුදු 65 සම්පූර්ණ වීම සඳහා තවත් වසර දෙක හමාරක් තිබෙන අතර සිසිර ආබෘෘ මහතාට තවත් වසර තුන හමාරක් තිබේ.
 
ජනාධිපතිවරයා විසින් සිය නිර්දේශ ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ව්‍යවස්ථාදායක මණ්ඩලය විසින් ඉදිරි කාලය තුළදී නව අගවිනිසුරුවරයා පත් කරනු ඇත.
 
අගවිනිසුරුට බැන වැදුණු ගණකාධිකාරිවරයා තවදුරටත් රිමාන්ඩ්!