පාර්ලිමේන්තු චණ්ඩි වෙනුවෙන් තිලක් මාරපන පෙනී සිටී !

පාර්ලිමේන්තු චණ්ඩි වෙනුවෙන් තිලක් මාරපන පෙනී සිටී !

10 April 2019 12:37 am

පාර්ලිමේන්තුව තුළ කලහකාරී ලෙස හැසිරෙමින් මහජන දේපළවලට හානි කිරීමත් පොලිස් නිලධාරීන්ට සහ මන්ත්‍රීවරුන්ට පහරදීමත් සම්බන්ධයෙන් ප්‍රකාශ ලබාගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබුණු ප්‍රසන්න රණවීර, ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දිගින් දිගටම එය මඟ හරිමින් සිටී.

 

ඒ අනුව විකල්පය ලෙස, මන්ත්‍රීවරුන් සොයාගෙන ගොස් ඔවුන්ව අත් අඩංගුවට ගෙන අදාළ ප්‍රකාශ ලබාගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අවසර ඉල්ලා තිබුණත් කථානායක කරූ ජයසූරිය මහතා මේ වනවිට ජාත්‍යන්තර සමුළුවකට සහභාගී වීම සඳහා දිවයිනෙන් බැහැරව ගොස් ඇති හෙයින් එය ද ප්‍රමාද වී ඇත.

මේ අතරතුර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙම පාර්ලිමේන්තු ගුටි කෙළිය සම්බන්ධ සියළු ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම හිටපු නීතිපතිවරයකු ද වන, ජනාධිපති නීතීඥ, විදේශ කටයුතු අමාත්‍ය තිලක් ජානක මාරපන මහතාට පවරා තිබේ.

එහිදී වහාම ක්‍රියාත්මක වූ මාරපන මහතා පණිවිඩයක් යවා අදාළ සිදුවීම් පිළිබඳ පරීක්ෂණ සිදු කරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන්ව ගෙන්වා ගෙන ඔවුන්ට දැනුම් දී ඇත්තේ මේ පිළිබඳ ඉදිරි ක්‍රියාමාර්ග සම්පූර්ණයෙන්ම අත්හිටුවන ලෙසයි.

තමන් මේ සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා පාර්ලිමේන්තු අනුකමිටුවක් පත් කරන බවත් එහි සාකච්ඡා කර තීරණයක් දැනුම් දෙන තුරු කිසිදු පියවරක් නොගන්නා ලෙසත් මාරපන මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන්ට තරයේ ප්‍රකාශ ඇති බව සඳහන්.

ඊට විරෝධය පළ කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් මාරපන මහතාට පෙන්වා දී ඇත්තේ තමන් විමර්ශන කටයුතු සිදු කරන්නේ මන්ත්‍රීවරුන්ට එරෙහිව ඉදිරිපත් වී ඇති මහජන දේපළ හානි කිරීම, පොලිස් නිලධාරීන්ට පහරදීම වැනි අපරාධ නීතිය යටතට අයත් වන ක්‍රියාවන් සම්බන්ධයෙන් හෙයින් පාර්ලිමේන්තු අනු කමිටුවක් මීට අදාළ නොවන බවය.

එහෙත් මාරපන මහතා සිය ස්ථාවරය තරයේ දැනුම් දෙමින් ප්‍රකාශ කර ඇත්තේ මෙය පාර්ලිමේන්තු සභා ගර්භය තුළ සිදුවූවක් බැවින් පාර්ලිමේන්තුව තුළම විසඳා ගැනීම සඳහා කටයුතු කරමින් සිටින බවයි.

මේ අනුව පෙනී යන්නේ මේ වනවිට යළිත් සියළුම හොරුන්, මැරයන් සහ කළු කබාකාරයින් එකතු වී ඇති ආකාරයකි. පාර්ලිමේන්තු අනුකමිටුවක් යනු නොකෙරෙනා වෙදකමට කෝඳුරු තෙල් හත් පට්ටයකුත් තවත් ටිකක් සෙවීමට කියනා තවත් නමකි. ඔය කියනා අනු කමිටුව සිංහල - දෙමළ අලුත් අවුරුද්දෙන් පසු අවුරුදු කෑමටත් වෙසක් පෝයට තොරණ් බැලීමටත් පොසොන් පෝයට දන්සල් වැඳීමටත් යනාදී වශයෙන් කාලාන්තරයක් පුරා විටින් විට රැස්වෙනු ඇති අතර පාර්ලිමේන්තුව තුළ යකා නැටූ මන්ත්‍රී චණ්ඩින්ට එරෙහිව කිසිදු නීතිමය පියවරක් ගැනීමට අවකාශයක් නොලැබෙනු ඇත.

මාරපනලාගේ පෙර හැසිරීම් ලෙස බලන කල නීතිය නැවීමට, රෝල් කිරීමට ඉහළම සුදුසුකම් හා අත්දැකීම් සහිත පුද්ගලයා වෙතම අග්‍රාමාත්‍යවරයා ද මෙම කටයුත්ත භාරදී ඇති බවයි පෙනී යන්නේ.