පාර්ලිමේන්තු චණ්ඩි පිළිබඳ නීතිමය තත්වය කථානායක පහදයි

පාර්ලිමේන්තු චණ්ඩි පිළිබඳ නීතිමය තත්වය කථානායක පහදයි

12 April 2019 09:09 am

පාර්ලිමේන්තු සභා ගර්භය තුළදී කලහකාරී ලෙස හැසිරෙමින් මහජන දේපළ හානි කිරීම සහ මන්ත්‍රීවරුන්ටත් පොලිස් නිලධාරීන්ටත් පහරදීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී වරප්‍රසාද කමිටුව හරහා ද ස්වාධීන විමර්ශනයක් සිදු කෙරෙන බව කථානායක කරූ ජයසූරිය මහතා පවසයි.

 

එසේම සිද්ධියට අදාළව මන්ත්‍රීවරුන් 6 දෙනෙකුට එරෙහිව එල්ල වී ඇති අපරාධ චෝදනා සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනම පරීක්ෂණයක් සිදු කරන බව පැවසූ කථානායකවරයා ඊට පාර්ලිමේන්තුවෙන් කිසිදු බාධාවක් හෝ බලපෑමක් එල්ල නොවන බවත් ප්‍රකාශ කළේය.

ඒ අනුව වරප්‍රසාද කමිටුවේ සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන වෙන වෙනම සිදු කෙරෙනු ඇති බව පැවසූ කථානායකවරයා මීට පෙර ද මෙවන් අවස්ථාවලදී පාර්ලිමේන්තුවේ කටයුතු සිදු කෙරී ඇත්තේ ඒ ආකාරයෙන් බවයි අවධාරණය කළේ.

රටවල් 160ක පමණ සහභාගීත්වයෙන් යුත් ජාත්‍යන්තර සමුළුවකට සහභාගී වීමට විදෙස්ගතව සිටි කරූ ජයසූරිය මහතා යළි දිවයිනට පැමිණියේ ඊයේ (11) දිනයේය. එම අවස්ථාවේදී ලංකා නිව්ස් වෙබ් කළ විමසීමකදී කථානායකවරයා මේ බව සඳහන් කළේය.

කෙසේවෙතත් මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පොහොට්ටු මන්ත්‍රී කණ්ඩායම දිගින් දිගටම උත්සාහ ගත්තේ මෙම ප්‍රශ්නය පාර්ලිමේන්තු කමිටුවක් හරහා යවා පොලිස් විමර්ශන මඟහැරීමටය. එහෙත් ඊට ඉඩක් නොලැබෙනු ඇති බව කථානායකවරයාගේ ප්‍රකාශය අනුව පෙනේ. 

RN