අවුරුද්දට ලාබ කළා - ජනපති නීතීඥවරු තොග පිටින් එළියට!

අවුරුද්දට ලාබ කළා - ජනපති නීතීඥවරු තොග පිටින් එළියට!

18 April 2019 05:27 am

සාමාන්‍යයෙන් ලංකාවේ නීති ක්ෂේත්‍රයේ පවතින වෘත්තිමය සම්ප්‍රදාය අනුව ‘ජනාධිපති නීතීඥවරුන්‘ වශයෙන් පත් කරනුයේ නීතියේ උන්නතිය උදෙසා මහඟු කාර්යභාරයක් සිදුකළ අය ය. නමුත් අද?

ජනාධිපති නීතීඥවරුන් නම් කිරීම සහ පත් කිරීම සඳහා පවතින පිළිගත් නිර්ණායකය වන්නේ වසර 20කට වඩා නීති ක්ෂේත්‍රයේ සක්‍රිය පළපුරුද්ද හිමි, තවද ශ්‍රී ලංකා නීති වාර්තා හෙවත් SLR සහ නව නීති වාර්තා හෙවත් NLRහි අවම වශයෙන් වාර්තාගත (රෙකෝඩඩ් කේසස්) නඩු තීන්දු 5ක නඩු කටයුතු මෙහෙයවූ නීතීඥවරුන් බවට ඔවුන් පත්ව තිබීම ය. ලංකා නීති ක්ෂේත්‍රයේ නඩු තීන්දු නීතියේ මුදුන් මල්කඩ වන් මෙම නීති වාර්තාවල ට ඇතුළත් වන්නේ ‘ඇපලේට් කෝට්‘ එසේත් නැතිනම් උපරිමාධිකරණයේ විභාග වන නඩුවල තීන්දු පමණකි. ඒ අනුව උපරිමාධිකරණ නීතීඥවරුන්ට පමණක් ජනාධිපති නීතීඥවරුන් බවට පත්වීමේ විභවය පවතියි.

නමුත් අවුරුද්දට කොයි දේත් ලාබ කරනවා සේ මෙවර ද ජනාධිපති නීතීඥවරුන් තොගයකගේ ලැයිස්තුවක් එළි දැක ඇත.

ඒ අලුත් ජනාධිපති නීතීඥවරුන්ගේ ලැයිස්තුව මෙසේ ය.

  • සම්පත් මෙන්ඩිස්
  • නවීන් මාරපන
  • ශානක ද සිල්වා
  • පියසේන දීරත්න
  • එම්. ජයසිංහ
  • නලීන්ද ඉන්දතිස්ස
  • වී.කේ. චොක්සි
  • නලීන් දිසානායක
  • මයුර ගුණවංශ
  • වසන්ත ගජනායක
  • අජන්ත රුද්‍රිගු
  • ෆාමර් කාසිම්
  • ජගත් වික‍්‍රමනායක
  • සුමිත් සේනානායක
  • සීවලී අමිතිරිගල
  • කපිල මනම්පේරි
  • සාලිය මොහොට්ටි
  • වින්සන්ට් පෙරේරා
  • සනත් වීරරත්න
  • ඒ.ඒ.එම්. ඉල්ලියාස්
  • ස්වර්ණා පෙරේරා

එහි තිබෙන ඇතැම් නම් දුටු විට පැහැදිලිවම පෙනී යන්නේ ප්‍රාදේශීයව නඩු කටයුතු මෙහෙයවන, උපන්තේකට උපරිමාධිකරණයේ නඩු කටයුතු මෙහෙයවා නැති, මහේස්ත්‍රාත්-කම්කරු වැනි ශ්‍රී ලංකා අධිකරණ පද්ධතියේ ප්‍රාථමික අධිකරණ හෙවත් මුල් අවස්ථා අධිකරණවල නඩු කතා කරන නීතීඥවරුන් පවා ස්වකීය දේශපාලන බලපුළුවන්කාරකම් මත මෙම ලැයිස්තුවට ඇතුළත් වී ඇති බව ය!

මෙය මේ වසරේ පමණක් සිදුවූ දෙයක් නොවේ. මෑත කාලයේ බිහිවූ ජනාධිපති නීතීඥවරුන්ගෙන් බහුතරය මේ ගණයේ ය. ජනාධිපති නීතීඥවරයෙකු බවට යමෙක් පත්වූ විට ඔහුට හෝ ඇයට තිබෙන වෘත්තීය පිළිගැනීම ඉහළ යයි. එයට සමානුපාතිකව ගාස්තු ද ඉහළ යයි. ඒ සියල්ල පැත්තකින් තබන්න. ඇසිය යුතු ප්‍රශ්නය වන්නේ, මෙබඳු, නව නීතිවාර්තාවල හෝ ශ්‍රී ලංකා නීති වාර්තාවල නඩු තීන්දුවල කොටස්කාරයන් නොවූ නීතීඥවරුන් මේ තත්වයට පත්වීම තුළින් ශ්‍රී ලංකා නීති ක්ෂේත්‍රයට සිදුවන උන්නතිය කුමක්ද? නඩු ප්‍රමාදය, නඩු ගොඩ ගැසීම, නීතීඥවරුන්ගේ ආචාරධාර්මික නොවන ක්‍රියා ගැන කුප්‍රකට ශ්‍රී ලංකා නීතිඥ වෘත්තියේ අභිමානය මෙවැනි පත්කිරීම් නිසා තවදුරටත් පල්ලම් බසිනු ඇත. ජනතාව තුළ නීතියේ බලය/ නීතියේ ආධිපත්‍යය ගැන තිබෙන විශ්වාසය තවදුරටත් පිරිහෙනු ඇත.

මෑත කාලයේ බිහිවුණු අයගෙන් බහුතරය මේ ගණයේ ය. ජනාධිපති නීතීඥවරුන් ලෙස විහිළුකාරයන් සහ මුල් අවස්ථා අධිකරණවල අණසක පතුරුවාගෙන සිටින නීතීඥවරුන් පත් කිරීම ආරම්භ වීමේ ඉතිහාසය ශ්‍රී ලංකාවේ ප්‍රථම විධායක ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන ගේ පාලන සමය දක්වාම දිව යයි. ඔහු ජනාධිපති නීතීඥ හෙවත් PC පට්ටම ලබාදීමට වැඩිපුර ප්‍රියකළේ සිය අන්තේවාසිකයන්ට ය. ඒ බවට උදාහරණ ඕනෑ තරම් තිබේ.

දැන් ඉතින් ප්‍රාදේශීයව, නීති ක්ෂේත්‍රයේ උන්නතිය සඳහා අබමල් රේණුවකවත් දෙයක් කර නැති සමහර නීතීඥවරුන්ගේ බෝඩ් ලෑලිවල මෙසේ සඳහන් වුණොත් පුදුම නොවන්න.

‘‘නීතීඥ සහ ප්‍රසිද්ධ නොතාරිස්, දිවුරුම් කොමසාරිස්, සාම විනිසුරු, නිල නොලත් මහේස්ත්‍රාත් සහ ජනාධිපති නීතීඥ“...!