ෆොන්සේකා වෙනුවෙන් කඳවුරු බදියි

ෆොන්සේකා වෙනුවෙන් කඳවුරු බදියි

3 May 2019 10:21 am

ජාතික ආරක්ෂාව නීතිය හා සාමය පිළිබඳ වගකීම ජනාධිපතිවරයා තමන්ගෙන් ඉවත් කර එහි වගකීම ගත හැකි ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතාට පැවරීම තවදුරටත් ප්‍රමාද කරන්නේ නම් ඊට එරෙහිව නැගී සිටීමට කතෝලික පියතුමන්ලා සහ බෞද්ධ භික්ෂුන් වහන්සේලා සූදානමින් පසුවන බව වාර්තා වෙයි.

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු පසුගිය දිනවල හිටපු අමාත්‍ය ෆීල්ඩ් මාෂල සරත් ෆොන්සේකා මහතා කාදිනල් මැල්කම් රන්ජිත් පියතුමා ප්‍රමුඛ කතෝලික පියතුමන්ලා මෙන්ම අස්ගිරි මල්වතු මහනායක හිමිවරු මුණ ගැසී රටේ වත්මන් ආරක්ෂක තත්ත්වය සහ ඉස්ලාම් අන්තවාදී ත්‍රස්තවාදය සහමුලින්ම නැති කර දැමීම සඳහා දීර්ඝ කාලීන වැඩපිළිවෙළක අවශ්‍යතාව පෙන්වා දී තිබුණි.

එම අවස්ථාවන්හිදී සරත් ෆොන්සේකා මහතා මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් පැවසුවේ දැන් මුහුණ දී සිටින ත්‍රස්තවාදය තුරන් කිරීම වෙනුවෙන් ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවට කිසිදු සැලැස්මක් නොමැති බවයි.

තිස් වසරක යුද්ධය නමා කිරීමට නායකත්වය දුන් හමුදාපතිවරයෙකු වශයෙන් රටේ ආරක්ෂක තත්ත්වය සම්බන්ධයෙන් මනා අවබෝධයක් මෙන්ම ත්‍රස්තවාදීන්ගේ හැසිරීම් සම්බන්ධයෙන්ද මනා අවබෝධයක් ඇත්තෙකු ලෙස ෆොන්සේකා මහතා වෙත රටේ ආරක්ෂාව භාර දිය යුතු බවට එම ආගමික නායකයින් අවධාරණය කර ඇත.

ආගමික නායකයින් දෙපාර්ශවයම ෆොන්සේකා මහතා සමඟ පෞද්ගලික මට්ටමින් සිදුකර ඇති සාකච්ජාවලදී පවසා ඇත්තේ ජනාධිපතිවරයාගේ දේශපාලනික හැසිරීම් දෙස තවදුරටත් බලා සිටිය නොහැකි බවයි.

ත්‍රස්තවාදයට එරෙහිව පිළිතුරු දීමේ හැකියාව ඇති හොඳම තැනැත්තා ආණ්ඩුව සතුව සිටියදීත් ඔහුගෙන් වැඩක් නොගැනීම තවදුරටත් ඉවසිය නොහැකි බව ඔවුන් පවසා තිබේ.

සරත් ෆොන්සේකා මහතාට ජාතික ආරක්ෂාව සම්බන්ධ වගකීම පැවරිය යුතු බවට අගමැතිවරයාද ජනාධිපතිවරයාට පෙන්වා දී ඇති නමුත් ජනාධිපතිවරයා එම ඉල්ලීම තරයේ ප්‍රතික්ෂේප කරමින් සිටින බව සඳහන්.

ආරක්ෂක අමාත්‍ය ධූරය වෙනුවට ආරක්ෂක අමාත්‍යාංශයේ උපදේශක තනතුරක් ලබා දීමට ජනාධිපතිවරයා එකඟ වී ඇති නමුත් කිසිදු බලතලයක් නැති උපදේශක තනතුරු තමන්ට අවශ්‍ය නැති බවට ෆොන්සේකා මහතා ප්‍රතිචාර දක්වා ඇත.

මේ අතර කාදිනල් හිමිපාණන්ද සඳහන් කළේ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් වන තහවුරුවද ප්‍රමාණවත් නොවන බවයි.

ඉදිරි දින කිහිපය තුළ හෝ ජනධිපතිවරයා නම්‍යශීලි නොවන්නේ නම ආගමික නායකයන් ලෙස විශේෂයෙන් කතෝලික පිතුමන්ලා සහ භික්ෂුන් වහන්සේලා සරත් ෆොන්සේකා මහතා වෙනුවෙන් පෙනී සිටීමට තීරණය කර ඇත.

ඊට අන්තවාදී නොවන ඉස්ලාම් ආගමික නායකයන් මෙන්ම ජනතාවගේ සහයද අනිවාර්යයෙන් ලැබෙන බවට වන විශ්වාසයකද පසුවෙයි.

ඒ අනුව එම ආගමික නායකයන් සිය මතය ලිඛිතව ජනාධිපතිවරයා වෙත ලිඛිතව දැනුම් දෙනු ඇති අතර එය පිළිගැනීමට ජනාධිපතිවරයාට සිදුවනු ඇති බවයි ඔවුනොවුන් අතර සාකච්ජා වී ඇත්තේ.