පාස්කු ප්‍රහාරයේ අත්හදා බැලීම් කළ '16 වැනිදා කාත්තන්කුඩි පිපරීම' ගැන තොරතුරු අනාවරණය වෙයි ! (විශේෂ වාර්තාව)

පාස්කු ප්‍රහාරයේ අත්හදා බැලීම් කළ '16 වැනිදා කාත්තන්කුඩි පිපරීම' ගැන තොරතුරු අනාවරණය වෙයි ! (විශේෂ වාර්තාව)

4 May 2019 01:36 pm

පසුගිය 21 වැනිදා මුස්ලිම් අන්තවාදීන් එල්ල කළ ප්‍රහාරය සම්බන්ධයෙන් ඊට පෙර අප 20 වැනිදා විශේෂ පුවතක් වාර්තා කළේය. ඒ '16 වැනිදා රාත්‍රියේ කාත්තන්කුඩිහි අබිරහස් පිපිරීමක් - පරීක්ෂණ රහස් පොලීසියට' යන ශීර්ෂයෙන් යුතුවයි.

එම පුවතින් අප ප්‍රකාශ කළේ 16 වැනිදා රාත්‍රියේ කාත්තන්කුඩි ප්‍රදේශයේ ටීවීඑස් වර්ගයේ Scooty-pep මෝටර් බයිසිකලයක අටවා තිබූ බෝම්බයක් පුපුරවා හැරීම පිළිබඳවයි.

එම පිපිරීම පාස්කු ප්‍රහාරය හා සම්බන්ධ බවට මේ වනවිට පරීක්ෂවලදී අනාවරණය වී ඇති අතර, එය 21 වැනිදා එල්ල කළ මරාගෙන මැරෙන ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකළ අත්හදා බැලීමක් බවට මේ වනවිට අනාවරණය වී තිබේ.

මෙම බෝම්බය මෙන්ම පාස්කු ප්‍රහාරයට අදාල සියලු බෝම්බ නිෂ්පාදනය කර ඇත්තේ, මීගමුව කටුවාපිටිය පල්ලියට එල්ල වූ ප්‍රහාරයේ මරාගෙන මැරෙන බෝම්බකරු වන මොහම්මදු හස්තූන් නමැති අන්තවාදී කල්ලි සාමාජිකයා විසිනි.

16 වැනිදා සිදුකළ අත්හදා බැලීමට අදාල පිපිරීම සම්බන්ධයෙන් ආරක්ෂක අංශවලට අදාල බුද්ධි අංශ දැඩි සැලකිල්ලක් යොමු කළේ නම් පාස්කු ප්‍රහාරය වලක්වා ගැනීමේ හැකියාව තිබිණි.

ආර්යම්පදි, පාලමුනෛ ප්‍රදේශයේ පිහිටි ඉඩමකදී මුස්ලිම් අන්තවාදීන් විසින් මෙම අත්හදා බැලීම සිදුකර ඇති අතර අක්කර 43 කින් සමන්විත මෙම ඉඩමේ අයිතිකරු ලෙස සඳහන් වන්නේ කාත්තන්කුඩි-02 ප්‍රදේශයේ පදිංචි හස්නාල් බස්රි නමැති මුස්ලිම් ජාතිකයෙකි. ඔහු මෙම ඉඩම 2018 වසරේදී රුපියල් කෝටි 18 කට මිලදී ගෙන ඇත්තේ සත්ව ගොවිපලක් ආරම්භ කිරීම සඳහාය.

ඒ අනුව ඉඩම කොටස් 06 කට වෙන්කර සත්ව ගොවිපල ආරම්භ කර ඇති අතර එහි දමිළ ජාතිකයන් 06 දෙනෙකු සේවය කර තිබේ. 16 වැනි දින පස්වරු 04 වනවිටත් එම සේවකයන් එහි රැඳී සිට ඇති අතර අත්හදා බැලීම සඳහා භාවිතා කළ ආකාරයේ යතුරු පැදියක් ඒ වනවිටත් එහි තිබී නොමැති බව පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.

ඒ අනුව අන්තවාදීන් විසින් අත්හදාබැලීමට අදාල සියලු කටයුතු සිදුකර ඇත්තේ අදාල ගොවිපලේ සේවකයන් ඉවත්ව ගිය පසුය. අදාල ඉඩමේ හිමිකරු වන හස්නාල් බස්රි හෝ එහි සේවය කළ දමිළ ජාතිකයන් මෙම පිපිරීම්වලට සම්බන්ධයක් නොමැති බව ද පරීක්ෂණවලදී අනාවරණය වෙයි.

16 blast 4

මෙම පිපිරීම සිදුවූයේ රාත්‍රී 10.21 ට පමණය. ධාරානිපාත වර්ෂාව මධ්‍යයේ පිපිරීමෙන් නිකුත් වූ අධික ශබ්දය හේතුවෙන් ප්‍රදේශවාසීන් දැඩි කලබලයට පත් වූ අතර ඔවුන් පොලීසියට දැනුම් දීමට කටයුතු කරන්නේ ඉන් පසුවයි.

මෙම පිපිරවීම සම්බන්ධයෙන් පොලිස් විශේෂ කාර්ය බලකාය සිදුකළ පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ මේ සඳහා අධිබලැති පුපුරණ ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් භාවිතා කර ඇති බවයි. මෙම  පිපිරීම හේතුවෙන් අදාල ඉඩමේ ඉදිරිපස මීටර් 60 ක් දුරින් පිහිටි තහඩුවලට විශාල හානියක් සිදුව ඇති අතර ඉඩමේ පසුපස මීටර් 40 ක් පමණ දුරට හානි සිදුව තිබේ. ඉඩම වඩා පිහිටි යකඩ තහඩුවලට පවා හානි සිදුව තිබීමෙන් ප්‍රහාරයේ ප්‍රබලත්වය ‍කෙතෙක්ද යන්න තහවුරු වී තිබේ.

බෝම්බ නිෂ්ක්‍රීය අංශය සිදුකළ පරීක්ෂණයේදී අනාවරණය වී ඇත්තේ මෙම පිපිරවීම සඳහා පුපුරණ ද්‍රව්‍ය කිලෝ 07 ක් පමණ භාවිතා කර ඇති බවයි. රෙදි සෝදන යන්ත්‍රයක ටයිමරයක් මේ සඳහා භාවිතා කර ඇති බව අනාවරණය වී තිබේ. මෙම පුපුරවා හැරීම දුරස්ථ පාලකයක් ආධාරයෙන් හෝ ටයිමරයක් භාවිතයෙන් සිදු කරන්නට ඇති බවටයි ආරක්ෂක අංශ සැක කරන්නේ. 

සිදුකළ පරීක්ෂණවලදී වැඩිදුරටත් අනාවරණය වී ඇත්තේ මෙම අත්හදා බැලීම පළමු මොහොතේ අසාර්ථක වී ඇති බවයි. මොහම්මදු හස්තූන් ඇතුළු පිරිස නැවත උත්සාහ කිරීමේදී එය සාර්ථක වී තිබේ. මොහම්මදු හස්තූන් මේ සඳහා අන්තර්ජාලයෙන් තොරතුරු ලබාගෙන ඇති බවට ආරක්ෂක අංශ විසින් තොරතුරු හෙළි කරගෙන තිබේ. ඒ අනුව අන්තවාදීන් බෝම්බ නිෂ්පාදනය සම්බන්ධයෙන් එතරම් අත්දැකීම් නොමැති පිරිසක් වන අතර ඊට හොඳම උදාහරණය වන්නේ කොළඹ ටාජ් හෝටලයේ පිපිරවීමට අදාල බෝම්බය පුපුරා නොයෑමයි. ඉන්පසු එම බොම්බය පුපුරවා ගැනීමට පැමිණි බෝම්බකරු දෙහිවල ට්‍රොපිකල් ඉන් හෝටලය වෙත ගොස් අදාල බෝම්බය පුපරවා ගත්තේය.

මෙම පිපිරීමට අදාල WP BCY 2183 ටීවීඑස් Scooty-pep වර්ගයේ යතුරුපැදිය ජා-ඇල ප්‍රදේශයෙන් මිලදී ගෙන ඇති අතර ඒ සඳහා භාවිතා කර ඇත්තේ, අස්ථානගත වී තිබූ ජාතික හැඳුණුම්පතකි. පාස්කු ප්‍රහාරයට අදාල බොහෝ වාහන හා පසුගිය දිනවල ආරක්ෂක අංශ මගින් අත්අඩංගුවට ගත් බොහෝ වාහන වෙනත් ප්‍රදේශවලින් මිලදී ගත් ඒවා වන අතර බෝම්බ ප්‍රහාරයේ මහ මොළකරුවන් ඒ සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමුකර ඇති බව මේ හරහා අනාවරණය වේ.

මෙම පිපිරවීමේදී හා බෝම්බ නිෂ්පාදනය කිරීමේදී මොහම්මදු හස්තූන් සමග තවත් පුද්ගලයෙකු සම්බන්ධ වී ඇති අතර එම පුද්ගලයා කවුරුන්ද යන්න සම්බන්ධයෙන් මේ වනවිට ආරක්ෂක අංශ පරීක්ෂණ සිදු කරමින් සිටී. 

16 වැනිදා රාත්‍රියේ කාත්තන්කුඩිහි අබිරහස් පිපිරීමක් - පරීක්ෂණ රහස් පොලීසියට

16 blast 3