CDS නාවික හමුදාපති නිල නිවස භුක්තියේ අයිතියට පවරාගෙනද ?

CDS නාවික හමුදාපති නිල නිවස භුක්තියේ අයිතියට පවරාගෙනද ?

5 May 2019 01:44 am

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී රවීන්ද්‍ර විජේගුණරත්න මහතා තමන්ගෙන් පසු නාවික හමුදාපති තනතුරට පැමිණි නිලධාරීන්ට නාවික හමුදාපති නිල නිවස ලබා නොදී එය දිගටම භාවිතා කරන බව වාර්තා වේ.

 

ඔහුගෙන් පසු නාවික හමුදාපතිවරුන් තිදෙනෙක් පත්ව ඇති අතර ඔවුන් තිදෙනාටම තම තනතුරට අයත් නිල නිවස ලැබී නැත. රවීන්ද්‍ර විජේගුණරත්න මහතා සිය නාවික හමුදාපති ධුර කාලය අවසන් කළේ 2017 අගෝස්තු 22 වනදාය.

2018 දෙසැම්බර් 31 වනදා විශ්‍රාම ගිය නාවික හමුදාපති සිරිමෙවන් රණසිංහ මහතාට ඊට පෙර සේවා දිගුවක් සඳහා ඉල්ලුම් කරන මෙන් එවකට ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා විසින් දැනුම් දී තිබිණි. එහෙත් රණසිංහ මහතා ප්‍රකාශ කර තිබුණේ "ඒක අවශ්‍ය නැහැ. මගෙන් පස්සේ තව දක්ෂයෝ ඉන්නවා. මං එයාලට තැන දීලා යන්න ඕනේ" යනුවෙනි. එවන් පුද්ගලයින් සිටි නාවික හමුදාවක රවීන්ද්‍ර විජේගුණරත්න නිල නිවසට අරක්ගත් භූතයකු බවට පත්ව සිටී.

හිටපු ගුවන් හමුදාපති හර්ෂ අබේවික්‍රම මහතා විශ්‍රාම ගියේ 2014 පෙබරවාරි 27 වනදාය. ඒ මහතා විශ්‍රාම යාමට දින දෙකකට කලින්ම සිය නිල නිවසෙන් තමන්ට අයත් භාණ්ඩ අස්කරගෙන එය හිස් කළේය. ඊළඟට පැමිණෙන කෝලිත ගුණතිලක මහතාට තනතුර සමඟම නිල නිවසත් ලැබෙන ආකාරයෙන් හර්ෂ අබේවික්‍රම මහතා ක්‍රියා කළේ එසේය. ආදර්ශයට ගන්නවා නම් එවැනි උදාහරණත් ශ්‍රී ලංකා හමුදා ඉතිහාසයෙහි තිබේ. එහෙත් රවීන්ද්‍ර විජේගුණරත්න යනු හොඳ දෙයක් ආදර්ශයට ගන්නා පුද්ගලයකු නොවන බව රටම දනී.

රවීන්ද්‍ර විජේගුණරත්න යනු කප්පම් ගැනීම සඳහා පුද්ගලයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කළ නාවික හමුදා කප්පම් කල්ලියේ ප්‍රධානම සාමාජිකයකුට රැකවරණ ලබාදුන් පුද්ගලයාය. නේවි සම්පත් නම් එකී සැකකරුට රටින් පළායාමට උපකාර කළේ, මුදල් ලබා දුන්නේ ද මේ රවීන්ද්‍රමය. ඒ සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වෙන විට ජනාධිපතිවරයාගේ හයිය ඇඟට ගෙන අධිකරණය මඟහැර සිටියේ ද මේ රවීන්ද්‍රමය. ඒ සම්බන්ධයෙන් සතියක් රිමාන්ඩ් බන්ධනාගාරගත කෙරුණේ ද, එම නඩුවේ සාක්ෂිකරුවකුට සිය ආරක්ෂකයින් ලවා පහර දුන්නේ ද මේ රවීන්ද්‍රමය. මාධ්‍යවේදීන්ට පහරදීමේ ඉතිහාසයක් ද මේ රවීන්ද්‍රට තිබේ. රවීන්ද්‍ර ගැන තවත් වැඩිපුර කතා කරන්නට දෙයක් නැති තරම්ය.

යම් නිවසක වසර 10ක් එකදිගට පදිංචිව සිටියහොත් කාලාවරෝධී අයිතිය අනුව නිවස පදිංචිකරුට හිමිකර ගැනීමට ද හැකිය. රවීන්ද්‍ර විජේගුණරත්න මේ මඟබලා සිටින්නේ ‍ඊටද කියන්නත් නොහැක්කේ ඔහු එහෙමත් බැරි අයෙකු නොවන නිසාය.

කෙසේවෙතත් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියාගේ මේ නිවාස කෙළිය ජනාධිපති සහ ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් ද ඔහේ බලා සිටිනා කරුණකි. ඊට හේතුව එකිනෙකා පිනවා ගැනීමය. රවීන්ද්‍ර ඔවුන්ව පිනවන අතර ඔවුන් රවීන්ද්‍රව පිනවමින් සිටී.