RMV ජගත් ගැන පරීක්ෂණ ප්‍රවාහන ලේකම් යට ගසයි

RMV ජගත් ගැන පරීක්ෂණ ප්‍රවාහන ලේකම් යට ගසයි

6 May 2019 04:32 pm

රටේ පවතින අනාරක්ෂිත තත්ත්වය හා ආණ්ඩුවේ අවධානය වෙනත් කටයුතුවලට යොමුවීම උපයෝගී කරගෙන මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජගත් චන්ද්‍රසිරි ඇතුළු දුෂිත නිලධාරීන්ට එරෙහිව ප්‍රවාහන අමාත්‍යාංශය මගින් පවත්වන ලද විමර්ශන කටයුතු අතර මග නවතා දමා තිබේ.

 අදාල පරීක්ෂණ නවතා දැමීමට කටයුතු කර ඇත්තේ ප්‍රවාහන අමාත්‍යංශ ලේකම් එල්.පී. ජයම්පති විසිනි. ඔහුට ඒ වෙනුවෙන් මෙට්‍රොපොලිටන් හා ඇක්සස් සමාගම් විසින් විශාල ගෙවීමක් සිදුකර ඇත.

මුළු මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේම සියලු කටයුතු සිදුකරන්නේ මෙට්‍රොපොලිටන් සමාගම හා ඇක්සස් සමාගම ඇතුළු ඔවුන්ට සම්බන්ධ විදේශීය සමාගම් විසිනි.

ඔවුන්ට විරුද්ධව පරීක්ෂණ අරම්භ වූයේ පාර්ලිමේන්තුවේදී ආණ්ඩුවේ හා විපක්ෂයේ මන්ත්‍රීවරු ඔවුන්ට විරුද්ධව දැඩි දුෂණ චෝදනා එල්ල කිරීමෙන් පසුවය.

මේ වන විට දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර ස්ථාන මාරුවීම්වලට පවා මෙට්‍රොපොලිටන් සමාගමේ ජගත් නැමැත්තා මැදිහත් වන බව සේවකයෝ පවසති.

පිට පළාත්වලින් එන රියදුරු බලපත්‍ර සහ පිටපත් ලබා ගැනීමට ලැබෙන අයදුම්පත්‍ර හරහා විශාල ලෙස හොර රියදුරු බලපත්‍ර මෙන්ම එකම පුද්ගලයාගේ නමින් රියදුරු බලපත්‍ර කීපයක් නිකුත් කෙරෙන බවත් වර්තමානයේ පවතින ආරක්ෂක තත්ත්වය මත මෙය බරපතල කාරණයක් බවත් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු සේවකයෝ පවසති.