මදුෂ් කොටු උනේ පාතාලෙ ඔත්තුවකින් ! මෙහෙයුමට උප්පැන්න ලියපු අය අනාතයි !

මදුෂ් කොටු උනේ පාතාලෙ ඔත්තුවකින් ! මෙහෙයුමට උප්පැන්න ලියපු අය අනාතයි !

9 May 2019 02:49 pm

ඩුබායි සුපිරි හෝටලයකදී එරට පොලීසිය විසින් අත්අඩංගුවට ගත්, පාතාල සංවිධානාත්මක අපරාධ කල්ලි නායක මාකඳුරේ මදුෂ් මෙරටට පිටුවහල් කිරීමෙන් පසු මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිළධාරීන් භාරයේ සිටී.අ

පසුගිය පෙබරවාරි 05 වැනිදා ඔහු ඇතුලු 31 දෙනෙකු ඩුබායි පොලීසිය විසින් අත්අඩංගුවට ගත් අතර එය සිදු වූ ආකාරය සම්බන්ධයෙන් මේ වනවිට තොරතුරු අනාවරණය වී තිබේ.

මදුෂ් ඇතුළු පිරිසක් පෙබරවාරි 05 වැනිදා අදාල හෝටලයේ සුපිරි සාදයක් පවත්වන බවට ඩුබායි පොලීසියට ඔත්තුව ලබා දී ඇත්තේ තවත් පාතාල නායකයෙකු විසිනි. මෙම තත්වය මෙරට පමණක් නොව ලොව බොහෝ රටවල පාතාල කණ්ඩායම්වලට අදාල කරුණකි. තම ප්‍රතිවිරුද්ධ පාතාල කණ්ඩායම් සම්බන්ධයෙන් පොලීසියට තොරතුරු අනාවරණය කරයි.

‍එහෙත් මදුෂ් අත්අඩංගුවට ගත් සැනින් මෙරට පොලීසිය සහ රජයේ ඇතැම් පාර්ශ්වයන් මදුෂ් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමේ උප්පැන්නය තමන්ගේ නමට ලියා ගැනීම සඳහා දැඩි වෙහෙසක් දැරීය. ඒ සඳහා මාධ්‍ය සාකච්ඡා මෙන්ම විවිධ ක්‍රම හරහා පුවත් නිර්මාණය කළ අතර මදුෂ් අත්අඩංගුවට පත්වීම මෙරට පොලීසියේ විවිධ ආයතනවල සහ රජයේ ඇතැම් ආයතනවල සූක්ෂ්ම ක්‍රියාවලියක ප්‍රතිඵලයක් බව තහවුරු කිරීම සඳහා දැඩි උත්සාහයක් දැරීය.

පුදුමයට කරුණ වන්නේ මදුෂ් ඇතුළු පිරිස ‍කොටුකර ගැනීමට හැකිවූවා යැයි උදම් ඇනූ එම කිසිදු ආයතනයකට මදුෂ් ඇතුළු පිරිස මෙරටට ගෙන්වා ගැනීමට නොහැකි වීමයි. එපමණක් නොව ඩුබායි බලධාරීන් විසින් මදුෂ් සමග අත්ඩංගුවේ පසු වූ පුද්ගලයන් විටින් විට මෙරටට පිටුවහල් කළ අතර එම පුද්ගලයන් මෙරටට පැමිණෙන නිශ්චිත වෙලාවක් දැන ගැනීමට පවා මදුෂ් කොටුකර ගැනීමේ මහ මොළකරුවන් යැයි කියන පිරිසට නොහැකි විය.

මේ නිසා මදුෂ් සමග අත්අඩංගුවේ පසු වූ කංජිපාන ඉම්රාන් නමැත්තා මෙරටට පැමිණ හිමින් සීරුවේ වෙනත් රටකට පැනයාමට උත්සාහ කළ අතර එම උත්සාහය ව්‍යවර්ථ කරගත හැකි වූයේ අවසන් මොහොතේදීය.

ඩුබායි අත්අඩංගුවේ පසු වූ මදුෂ් ඇතුළු පිරිස ශ්‍රී ලංකාවට නැවත බාරදීම සඳහා ඩුබායි රජය කිසිසේසත් බැඳී නොසිටින අතර පුදුම සහගත වන්නේ දෙරට අතර උදර්පණ ගිවිසුමක් තිබියදී පවා එවැනි අවාසියක් ලංකාවට සිදුව තිබීමයි. සාමාන්‍යයෙන් රටවල් දෙකක් අතර අත්සන් කරන උදර්පණ ගිවිසුමක් හරහා ගිවිසුම්ගත රටක පුරවැසියෙක් අනෙක් රටේ අත්අඩංගුවේ පසුවන්නේ නම් අදාන රටට ඔහුව බාරදීමට රටවල් දෙකම බැඳී සිටී. කෙසේ වෙතත් ඩුබායි හා ශ්‍රී ලංකාව අතර අත්සන් කර ඇති උදර්පණ ගිවිසුමට අනුව ඩුබායි රටට අවශ්‍ය ඕනෑම පුද්ගලයෙකු ශ්‍රී ලංකා අත්අඩංගුවේ පසුවන්නේ නම් ඔහු නැවත ඩුබායි වෙත ලබාදීමට ශ්‍රී ලංකාව බැඳී සිටී. එහෙත් ඩුබායි රට ගිවිසුමට අනුව එම බැඳීමෙන් නිදහස් වේ.

මෙම අරුම පුදුම ගිවිසුම අත්සන් කර ඇත්තේ නීතිය පිළිබඳව හා ජාත්‍යන්තර කටයුතු පිළිබඳව මහා ප්‍රාඥයෙකු බව කියන ජී.ඇල්. පීරිස් මහතා විදේශ කටයුතු අමාත්‍යවරයා ලෙස සිටින සමයේදීය.

ඒ අනුව පොලීසියේ සහ ආණ්ඩුවේ විවිධ පාර්ශ්වය පාරම් බාමින් සිටියදී මදුෂ් නැවත මෙරටට ගෙන්වා ගැනීම වෙනුවෙන් සම්පූර්ණ මෙහෙයුම දියත් කර ඇත්තේ ඉන්ටර්පෝල් ආයතනයට අදාල මෙරට කටයුතු බාරව සිටින නිළධාරීන් විසිනි. මාධ්‍ය සන්දර්ශන කිසිවක් නොමැතිව ඔවුන් අප්‍රතිහත ධෛර්යයෙන් කටයුතු නොකළේ නම් ඩුබායි බලධාරීන් මදුෂ් නැවත මෙරටට එවන්නේ නැත. ඒ ඔවුන් ඒ සඳහා කිසිදු ලෙසකින් බැඳී නොසිටින බැවිනි.

අනෙක් අතින් මදුෂ් සතුව ඩුබායිහි ඇමරිකානු ඩොලර් මිලියන ගණනක වත්කම් තිබෙන බව වාර්තා වේ. එසේ තිබියදී ඩුබායි බලධාරීන් බාරයේ සිටි මදුෂ් නැවත ලංකාවට ගෙන්වා ගැනීම විශාල ජයග්‍රහණයකි. කටමැත දෙඩවීම වෙනුවෙට මෙරට ඉන්ටර්පෝල් නියෝජිතයන්ගේ රාජ්‍යතාන්ත්‍රික ක්‍රියාවක ප්‍රතිඵලයකි.

මදුෂ් ලංකාවට ගෙන්වා ගැනීමට තිබූ තවත් බාධාවක් වූයේ ඔහු සම්බන්ධයෙන් මෙරට අධිකරණයකින් කිසිදු චෝදනාවක් එල්ල වී නොතිබීමයි. ඔහු සංවිධානාත්මක අපරාධ, මත්ද්‍රව්‍ය වෙළඳාම, මිනී මැරීම් ආදිය සිදුකළ බව විවිධ පාර්ශ්ව මාධ්‍ය ඉදිරියේ ප්‍රකාශ කළද ඔහුට එරෙහිව කිසිදු නඩුවක් ගොනු කර නොමැත.

මදුෂ් සැහැල්ලුවෙන් - ගනුදෙනුකරුවන් මර බියෙන්

මේ වනවිට මාකඳුරේ මදුෂ් නමැති සංවිධානාත්මක අපරාධ මෙහෙය වූ පාතාල නායකයාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිළධාරීන් ප්‍රශ්න කරමින් සිටින අතර එම දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසන්නේ මදුෂ් මේ වනවිටත් තොරතුරු රැසක් අනාවරණය කර තිබෙන බවයි. ඔහු කිසිදු කලබලයකින් තොරව ඉතා සැහැල්ලුවෙන් රහස් පොලිස් නිළධාරීන් සමග ගනුදෙනු කරන අතර මෙරට පාතාලයට සම්බන්ධ සොක්කන් පිළිබඳව මෙන්ම ලොක්කන් පිළිබඳවද ඔහුගෙන් තොරතුරු අනාවරණය කරගත හැකි වනු ඇති බවයි වාර්තා වන්නේ.

මදුෂ් රහස් පොලිසිය බාරයට පත්වීමත් සමගම මෙරට දේශපාලනයේ ප්‍රබල තැන්වල මෙන්ම පොලීසියේද ඇතැම් ඉහළ තැන්වල පුටු රත් වී ඇති අතර ඔවුන් විවිධ ක්‍රම ඔස්සේ රහස් පොලිස් නිළධාරීන් හරහා තම තමන් පිළිබඳව මදුෂ් වමාරන්නේ මොනවාදැයි යන්න පිළිබඳව විමසමින් සිටී. ඒ අනුව පැහැදිලි වන්නේ මදුෂ්ගේ පාතාල ක්‍රියාකාරකම් පිටුපස ආණ්ඩුවේ මෙන්ම විපක්ෂයේ සහ රාජ්‍ය යාන්ත්‍රණයේ ප්‍රබලයන් රැසක් සිටින බවයි.

ඉදිරියේදී මදුෂ් හා ඔවුන්ගේ පවුලේ ඥාතීන්ට, සමීපතමයන්ට අයත් බැංකු ගිණුම් පරීක්ෂා කිරීමට නියමිත අතර ඒ හරහා මදුෂ් හා සබඳතා පැවැත්වූ පුද්ගලයන් බොහෝ දෙනෙකුගේ තොරතුරු අනාවරණය වනු ඇතැයි රහස් පොලිස් නිළධාරීන් විශ්වාසය පළ කරයි.