පියල් නිශාන්ත බේරුවේ කවුද?

පියල් නිශාන්ත බේරුවේ කවුද?

13 May 2019 06:41 pm

කල්මුණේ ප්‍රදේශයේදී ආරක්ෂක අංශ හා ත්‍රස්ත කණ්ඩායමක් අතර ඇති වූ වෙඩි හුවමාරුවේදී ආරක්ෂක අංශයේ 11 දෙනෙකු මිය ගිය බවට රූපවාහිනී වැඩසටහන අතරතුරදී පාර්ලිමේන්තු මන්ත්‍රී පියල් නිශාන්ත මහතා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් පසුගිය 06 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඔහුගෙන් ප්‍රකාශයක් ලබා ගත අතර එහිදී ඔහුව අත්අඩංගුවට ගැනීමට එම නිලධාරීන් සූදානම් වී ඇතත් ආණ්ඩුවේ ප්‍රබලයෙකුගේ මැදිහත්වීමෙන් එය වැළකී තිබේ.

 රජයේ ප්‍රධානියෙක් ලෙස කටයුතු කරන එම ඉහළම තැනැත්තා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවධාරණය කර ඇත්තේ පියල් නිශාන්ත මන්ත්‍රීවරයා නිදහස් කරන ලෙසයි.

ඒ අනුව ඔහුව නැවත හරවා එවීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට සිදුව තිබේ.

කල්මුණේ සිදුවීම වාර්තාවන විට මන්ත්‍රීවරයා ස්වර්ණවාහිනියේ රතු ඉර වැඩසටහනට සහභාගී වී සිටි අතර එම අවස්ථාවේ ඔහු වෙත ලැබුණු පණිවිඩයක් මත එකී වෙඩි හුවමාරුවෙන් ආරක්ෂක අංශ නිලධාරීන් 11 දෙනෙකු මිය ගොස් ඇති බව සඳහන් කළේය.

කිසිදු විමසීමකින් තොරව අසත්‍ය කතාවක් ප්‍රකාශ කිරීම රටේ කෝලාහලයක් ඇති කිරීමේ කුමන්ත්‍රණයක් දැයි විමර්ශනය කරන ලෙස අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කර තිබුණි.

එම පැමිණිල්ලට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මන්ත්‍රීවරයාව කැඳවා තිබුණි.

අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට බලපෑම් කරන මෙම රජයේ ඉහළම තැනැත්තා නිසා පසුගිය පාලන සමය තුළ සිදුවූ අපරාධවලට සම්බන්ධ වරදකරුවන්ද අත්අඩංගුවට ගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගතව තිබේ.

එම අත්අඩංගුවට ගැනීම් හේතුවෙන් තමන්ට දේශපාලන අවාසිදායක තත්ත්වයක් මතුවන බව එම ඉහළම තැනැත්තා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පෙන්වා දී ඇති බවද වාර්තා විය.