විගණන පනත් කෙටුම්පත මගින් තොරතුරු අයිතියට ‘භයානක බලපෑමක්‘ ඇති කරනවා - තොරතුරු කොමිසම කියයි.

විගණන පනත් කෙටුම්පත මගින් තොරතුරු අයිතියට ‘භයානක බලපෑමක්‘ ඇති කරනවා - තොරතුරු කොමිසම කියයි.

2 June 2018 07:02 am

යෝජිත විගණන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ කොමිෂන් සභාව විසින් මාධ්‍ය නිවේදනයක් (ජූනි 01) නිකුත් කරමින් අවධාරණය කරන්නේ එමගින් පුරවැසියන්ගේ තොරතුරු අයිතිය වෙත භයානක බලපෑමක් එල්ල විය හැකි බවට ය.

2018.03.16 දිනැති ගැසට් කරන ලද යෝජිත විගණන පනත් කෙටුම්පතේ 9(1) වගන්තියේ විධිවිධාන අනුව විගණන කොමිෂන් සභාවට සම්බන්ධිත පුද්ගලයන් නව නීතිය යටතේ කටයුතු කිරීමේදී තමන්ට ලැබුණු තොරතුරු හෙළිදරව් කළ යුත්තේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් පසුව ය. එයට ව්‍යාතිරේඛී අවස්ථා වශයෙන් දක්වා තිබෙන්නේ පාර්ලිමේන්තුව විසින්ම කරනු ලබන ඉල්ලීමක් හෝ අධිකරණ ආඥාවක් පමණි. මේ අනුව, මෙම අවස්ථා තුනට බාහිරව ඔවුන් විසින් කිසිදු පුරවැසියෙකු වෙත තොරතුරු නිකුත් නොකරනු ඇත.

යම් අයෙක් එසේ කරන්නේ නම් යෝජිත විගණන පනත අනුව එම තැනැත්තා ‘වරදකට වරදකරු වන බව‘ ද එහි දක්වා තිබේ.

එසේම පෙර කී ආකාරයෙන් ඔවුන්ගේ ප්‍රකාශයක් හෝ වාර්තාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු කාලසීමාව පිළිබඳව ද කිසිවක් යෝජිත පනත් කෙටුම්පතේ සඳහන් ව නැත.

තොරතුරු අනාවරණය කිරීම සම්බන්ධයෙන් මෙවැනි කොන්දේසි විරහිත පුළුල් තහනමක් විගණන පනත් කෙටුම්පත මගින් යෝජනා කරන්නේ, එවැන්නක් ප්‍රජාතන්ත්‍රවාදී සමාජයකට අවශ්‍ය ද යන්න පිළිබඳ කිසිදු තක්සේරුවකින් තොරව ය. එනම්, එම තොරතුරු පාර්ලිමේන්තුව ඉදිරියේ හෝ පාර්ලිමේන්තුවේ ඉල්ලීම මත හෝ අධිකරණ නියෝගයකින් තොරව පුරවැසියන් අතට පත්කිරීමෙන් බරපතළ අගතියක් සිදුවේ ද යන්න පිළිබඳ කිසිදු තක්සේරුවක් හෝ සැලකිල්ලක් නොමැතිව ය.

2016 අංක 12 දරණ තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනතේ 4 වැනි වගන්තියෙන් පැහැදිලිවම දක්වන්නේ සියලු ලිඛිත නීති අබිබවා තොරතුරු පනත ක්‍රියාත්මක වන බව ය. (‘‘වෙනත් යම් ලිඛිත නීතියක විධිවිධානවලට පටහැණි ව කුමක් සඳහන් ව ඇතද, මේ පනතේ විධිවිධාන ක්‍රියාත්මක විය යුතු අතර, ඒ අනුව මෙම පනතේ විධිවිධාන සහ වෙනත් යම් ලිඛිත නීතියක විධිවිධාන අතර අනනුකූලතාවයක් හෝ ගැටීමක් ඇති අවස්ථාවක මෙම පනතේ විධිවිධාන බලාත්මක විය යුතුය“) එසේ තිබියදී ද පුරවැසියාගේ තොරතුරු අයිතියට වැට බඳින ‘නව නීති‘ ගෙන ඒම, තොරතුරු පනත සම්මත කර ගැනීමට සහ එය සක්‍රිය භාවයට පත් කරගැනීමට වෙර දැරූ සියලු පාර්ශවයන්ගේ අවධානයට ලක් විය යුතු බරපතළ කාරණයකි.

තොරතුරු පනතේ 5(1) වගන්තියේ පැහැදිලිව සඳහන් කර තිබෙන්නේ සීමිත අවස්ථා ගණනකදී පමණක් තොරතුරු අයිතිය පුරවැසියාගෙන් ගිලිහෙන බව ය. ඒ සීමිත අවස්ථාවලදී ද සැලකිල්ලට ගනු ලබන මූලධර්මය මහජන සුබසිද්ධියයි. තොරතුරු පනත සහ ආනුශංගික ගැසට් පත්‍ර මගින් මහජන සුබසිද්ධිය ප්‍රබල ලෙස ස්ථාපිත කර ඇති හෙයින්, 5(1) ව්‍යාතිරේඛවලට යටත්ව පොදු අධිකාරීන් විසින් තොරතුරු ලබාදීම ප්‍රතික්ෂේප කරන අවස්ථාවලදී, එම තොරතුරු ලබාදීම මගින් මහජන සුබසිද්ධියක් අත් නොවන බව තහවුරු කළ යුතුව තිබෙන්නේ පොදු අධිකාරීන් ය. එහි භාරය පුරවැසියා වෙත නොපැවරේ. එසේම පනතින් ප්‍රබල ලෙස පෝෂණය කරන ‘ප්‍රගාමී ලෙස හෙළිදරව් කිරීමේ මූලධර්මය‘ යටතේ පුරවැසියන් විසින් තොරතුරු ඉල්ලා නොසිටින අවස්ථාවලදී පවා යම් නිශ්චිත තොරතුරු ප්‍රමාණයක් එකී ආයතන විසින් පුරවැසියා වෙත ස්වෙච්ඡාවෙන් මුදා හැරිය යුතු ය.

එසේ තොරතුරු හෙළිදරව් නොකිරීම අපරාධ වරදක් බවට තොරතුරු පනත මගින් අර්ථ කථනය කර තිබියදී යෝජිත විගණන පනත් කෙටුම්පත මගින් සිදුකරන්නට යන්නේ තොරතුරු හෙළිදරව් කිරීම වරදක් බවට නැවත පත්කිරීමයි. ඒ අනුව මෙම යෝජිත පනත් කෙටුම්පත, තොරතුරු පනතේ ජීව ගුණයට එනයින්ම පටහැණි ය.

තොරතුරු පනත ක්‍රියාත්මක භාවයට පත් වී වසරක් සම්පූර්ණ වී ඇති මේ අවස්ථාවේ, ලෝකයේ තෙවැනි හොඳම තොරතුරු නීතිය ක්‍රියාත්මක කරන ආකාරය පිළිබඳ ලෝකයේම අවධානය යොමු වී ඇති මේ අවස්ථාවේ විගණන පනත් කෙටුම්පත වැනි නව නීතියක් ගෙන ඒමෙන් සිදුවනු ඇත්තේ පුරවැසියාගේ තොරතුරු අයිතියේ දීර්ඝ සහ වෙහෙසකර ගමන හෑල්ලුවට ලක් කිරීමයි.

දශක ගණනාවක් මුළුල්ලේ ශ්‍රී ලංකාවේ පරිපාලනමය ආයතන විසින් නඩත්තු කරන ලද තොරතුරු හෙළිදරව් නොකර සිටීමේ සංස්කෘතිය හෙවත් ‘රහස්‍යභාවයේ සංස්කෘතිය‘ සහ ‘තොරතුරු නොදී සිටීමේ නීතිමය පදනම“ අවසන් කළ හැකිව තිබෙන එකම ආයුධය හෝ මෙවලම ලෙස යොදාගනිමින් තිබෙන්නේ තොරතුරු පනතයි. පසුගිය කාලවකවානුව තුළ අප දිගින් දිගටම දුටුවේ, පුරවැසියන් තොරතුරු නීතිය මෙවලමක් ලෙස යොදාගෙන සිය තොරතුරු අයිතිය වෙනුවෙන් පොදු අධිකාරීන් සමග පොර බදන පුරවැසියන් ය. තොරතුරු ඉල්ලා සිටීමම, සිය පැවැත්මට තර්ජනයක් ලෙස ඇතැම් පොදු අධිකාරීන් තවමත් සිතන පරිසරයක් තුළ මෙවැනි ප්‍රවණතාවක් ඇති වීම සැබවින්ම කණගාටුදායක ය.

මේ අනුව යෝජිත විගණන පනත් කෙටුම්පත වැනි ‘තොරතුරු හෙළි නොකිරීමේ සංස්කෘතිය‘ පෝෂණය කිරීමට ඉවහල් වන නව නීති ගෙනඒමට උත්සාහ කිරීම, සැබවින්ම තොරතුරු අයිතිය තුළ ශ්‍රී ලංකාව ආපස්සට යාමක් වනු ඇත.

- නීතීඥ රදිකා ගුණරත්න