අලි වැට කිලෝමීටර 7000ක් දක්වා දීර්ඝ කිරීමට පියවර

අලි වැට කිලෝමීටර 7000ක් දක්වා දීර්ඝ කිරීමට පියවර

11 October 2018 08:03 am

අලිමිනිස් ගැටලුවට පිළියමක් ලෙස විදුලි වැට කිලෝමීටර 7000ක් දක්වා ප්‍රමාණයක් දීර්ඝ කිරීමට පියවර ගෙන ඇතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ඒ අනුව කිලෝමීටර 4300ක් වූ විදුලි වැට දුර ප්‍රමාණය කිලෝමීටර 7000 දක්වා දීර්ඝ කෙරෙනු ඇත.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඒ බව සදහන් කළේ අලිමිනිස් ගැටලුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ මහතා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි.

පසුගිය කාල සීමාව තුළ අලි මිනිස් ගැටුම හේතුවෙන් මිනිස් ජීවිත 80ක් ද වන අලි 280ක් ද මිය ගොස් ඇති බව අග්‍රාමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් සදහන් කර තිබේ.

පීඩාකාරී වන අලින් පුනරුත්ථාපනය කිරීම සඳහා රැඳවුම් මධ්‍යස්ථානයක් හොරව්පොතාන ප්‍රදේශයේ පිහිටුවා තිබෙන අතර තවත් රැඳවුම් මධ්‍යස්ථානයක් ලුණුගම් වෙහෙර ප්‍රදේශයේ පිහිටුවීමට ක්‍රියා කෙරෙන බවද අග්‍රමාත්‍යවරයා රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දෙයි.

එමෙන්ම නිකුත් කරන ලද අලි වෙඩි ප්‍රමාණය සියයට 50%කින් ඉහළ නංවා ඇත.

මීට අමතරව ආරක්ෂාව සඳහා සිවිල් ආරක්ෂක භටයින් 1675ක් අනුයුක්ත කර ඇති බවයි අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.