ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සිවිල් ක්‍රියාකාරිකයින් තිදෙනාට පාර්ලිමේන්තු අනුමැතිය

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සිවිල් ක්‍රියාකාරිකයින් තිදෙනාට පාර්ලිමේන්තු අනුමැතිය

11 October 2018 08:55 am

19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුව පිහිටුවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සිවිල් සමාජ ක්‍රියාකාරිකයින් තිදෙනා සඳහා අද (11) පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමිව තිබේ.

 

මෙසේ පාර්ලිමේන්තු අනුමැතිය හිමිවූයේ ආචාර්ය ජයන්ත ධනපාල, නීතීඥ අහමඩ් ජාවිඩ් යූසුෆ් සහ කොළඹ විශ්වවිද්‍යාලයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය නාගනාදන් සෙල්වකුමාර් යන මහත්වරුන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට පත්කිරීම සඳහා ය.

ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ නියෝජිතයින් 10 දෙනා මේ වන විට සම්පූර්ණ වී ඇත.

අග්‍රාමාත්‍යවරයා, කථානායකවරයා සහ විපක්ෂ නායකවරයා මෙම සභාවට නිල බලයෙන් පත්වන අතර ජනාධිපතිවරයාගේ නියෝජිතයා ලෙස අමාත්‍ය මහින්ද සමරසිංහත් අග්‍රාමාත්‍යවරයාගේ නියෝජිතයා ලෙස තලතා අතුකෝරාළ අමාත්‍යවරියත් විපක්ෂ නායකවරයාගේ නියෝජිතයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී චමල් රාජපක්ෂත් සුළු පක්ෂ නියෝජිතයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායකත් පත් කෙරිණි.

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව හෙට (12) පළමුවරට රැස්වීමට නියමිත අතර එහිදී නව අගවිනිසුරුවරයා පත් කිරීම පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිත බව කථානායක කරූ ජයසූරිය මහතා විසින් පාර්ලිමේන්තුවට දැනුම් දී තිබේ.

ස්වාධීන කොමිෂන් සභා සඳහා සාමාජිකයින් පත් කිරීමට ජනාධිපතිවරයා වෙත නිර්දේශ කිරීම සහ රජයේ සමහර උසස් තනතුරු සඳහා ජනාධිපතිවරයා විසින් නිර්දේශ කරන පුද්ගලයින් අනුමත කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ වගකීම වේ.

RN