අවුරුදු 30ත් 50ත් අතර කාන්තාන්ට පියයුරු පිළිකා වැළඳීමේ වැඩි අවධානමක්

අවුරුදු 30ත් 50ත් අතර කාන්තාන්ට පියයුරු පිළිකා වැළඳීමේ වැඩි අවධානමක්

11 October 2018 10:47 am

කාන්තාවන් අතර වාර්තා වන පිළිකා අතුරින් ප්‍රමුඛ ස්ථානය ගන්නේ පියයුරු පිළිකා බව ජාතික පිළිකා මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂ වෛද්‍ය සුදත් සමරවීර මහතා සදහන් කරයි.

වසරකට අලුතෙන් පියයුරු පිළිකා රෝගීන් 2500කට ආසන්න සංඛ්‍යාවක් ශ්‍රී ලංකාව තුළ වාර්තා වන බවයි ඔහු පවසන්නේ.

මෙය දිනකට අලුත් රෝගීන් 6-7ක් අතර ප්‍රමාණයකි.

ශ්‍රී ලංකාවේ සෑම කාන්තාවන් 38 දෙනෙකුගෙන්ම එක් අයෙකුට පියයුරු පිළිකා වැළඳීමේ අවධානමක් ඇති බව පෙන්වා දෙන වෛද්‍ය සුදත් සමරවීර මහතා අවධාරණය කරන්නේ ඉතිහාසය පුරාම නොතිබූ පහසුකම් රැසක් පසුගිය දශකයේ වෛද්‍ය ක්ෂේත්‍රයට එක් වී තිබෙන බවයි.

කාන්තාවන් ඒ සම්බන්ධයෙන් සැලකිලිමත් විය යුතු බව ඔහු සදහන් කළේ ඔක්තෝබර් 10 බදාදා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවති මාධ්‍ය හමුවකදීය.

සෑම වසරකම ඔක්තොම්බර් මාසය ලෝක පියයුරු පිළිකා පිළිබඳ දැනුම්වත් කිරීමේ මාසය ලෙස නම් කර තිබේ.

මේ පිළිබඳව මාධ්‍යවේදීන් දැනුම්වත් කිරීම සඳහා එම මාධ්‍ය හමුව සංවිධානය කර තිබුණි.

පියයුරු පිළිකාව පිළිබඳව විශේෂඥ වෛද්‍ය ජෙහාන් ගුණසේකර මහතා එම මාධ්‍ය හමුවේදී සදහන් කළේ ශ්‍රී ලංකාවේ වයස අවුරුදු 30ත් 50ත් අතර කාන්තාන්ට පියයුරු පිළිකා වැළඳීමේ අවධානම වැඩි බවයි.

වසර 2020 සිට 25 දක්වා ලෝකයේ වැඩිපුර මරණ ඇති වන්නේ පිළිකා රෝගය නිසා බවට ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු හඟවා ඇති බැවින් මීට අප සූදානම් විය යුතු බවත් විශේෂඥ වෛද්‍ය ජෙහාන් ගුණසේකර මහතා සදහන් කළේය.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා ද එම මාධ්‍ය හමුවට එක්වෙමින් සදහන් කළේ අද බොහොමයක් කාන්තාවන් පියයුරු පිළිකාව හඳුනාගන්නේ එහි දෙවන අදියරේදී බවයි.

"සුවනාරී, සුවපත් දිවියකට මග වැනි සායන රැසක් අද පවුල් සෞඛ්‍ය සායනවල ක්‍රියාත්මක වෙනවා. නමුත් මේ සායන සඳහා පැමිණෙන පිරිස අඩුයි. අල්ට්‍රාසව්න්ඩ්, මැමෝ පරීක්ෂාව අද සෑම රෝහලකම සිදු වෙනවා. පළාත් රෝහල්, දිස්ත්‍රික් රෝහල් ඇතුළු සියලුම රජයේ රෝහල්වල මේ පිළිබඳව පහසුකම් තිබෙනවා. ජනතාව මෙම සෞඛ්‍ය සේවා ප්‍රයෝජනයට ගත යුතුයි " අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් පැවසීය.

පිළිකා රෝගියෙකු වෙනුවෙන් රජය වැය කළ මුදල රුපියල් ලක්ෂ 15කට පමණක් සීමා වී තිබුණු නමුත් වත්මන් රජය පිළිකා රෝගීන්ගේ ප්‍රතිකාර සඳහා සීමාවකින් තොරව මුදල් වෙන් කර ඇති බව එම මාධ්‍ය හමුවට එක්ව සිටි සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය නියෝජ්‍ය අමාත්‍ය ෆයිසල් කාසීම් මහතා සදහන් කළේය.