අපි අපේ නායකයින්ටත් අනතුරු අඟවනවා

අපි අපේ නායකයින්ටත් අනතුරු අඟවනවා

11 January 2019 10:46 am

ඉදිරි ජනාධිපතිවරණයේදී අපේක්ෂකයා තෝරා ගැනීමේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මතයට ප්‍රමුඛස්ථානයක් දීමට නායකයින් ක්‍රියා කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී කාංචන විජේසේකර මහතා පැවසීය.

ඔහු මේ බව සඳහන් කළේ අද (11) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවේදීය.

රටේ බහුතර ජනතාවක් ඉල්ලා සිටින නායකයා හෙයින් ජනාධිපති අපේක්ෂකයා තෝරා ගැනීමේදී බහුතර මතයට අවනත විය යුතු බවයි මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ.

"ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂකයා විදිහට 2015 ජනවාරි 08 වැනිදා මැතිවරණයට මහින්ද රාජපක්ෂ මහතාගේ නම යෝජනා කරපු අයම විපක්ෂයේ අපේක්ෂයා වුණා. ඒ නිසා මේ නම් යෝජනා කරන අය ඊළඟට විපක්ෂයේ බලකණු වෙන්න පුළුවන් කියන සැකය අපිට තියෙනවා. පොදුජන පෙරමුණයි එජාප විරෝධී සටනේ ප්‍රධාන පක්ෂය විදිහට කටයුතු කළේ."

එහෙයින් ජනාධිපති අපේක්ෂකයා තෝර ගැනීමේදී විශේෂයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ තරුණ කණ්ඩායමේ මතය පිළිබඳ අවධානය යොමුකළ යුතු බවට නායකයින්ට අනතුරු අඟවා සිටින බව මන්ත්‍රීවරයා කියා සිටියේය.

"පළාත් පාලන මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට 14%ක ජන වරමක් ලැබිල තියෙනවා. ඒ 14% ජනවරම නියෝජනය කරමින් මීළඟ ජනාධිපතිවරයා ලෙස මෛත්‍රීපාල සිරිසේන මහතා පොදුජන පෙරමුණේ සහයෙන් පත්විය යුතු බව මහින්ද සමරසිංහ ප්‍රකාශයක් කළා. කල්පනා කරලා බැලුවහම විවිධ අදහස් තියෙන්න පුළුවන්. ශ්‍රීලනිපයට වගේම පොදුජන පෙරමුණටත් ඒ වගේ යෝජනා තියෙන්න පුළුවන්. සන්ධානයක් නිර්මාණය වෙනවා නම් ඒ සන්ධානයේ පක්ෂවලට යෝජනා තියෙන්න පුළුවන්. පොළවේ යථාර්ථයත් එක්ක ඒ යෝජනා ගැන සිතිය යුතුයි.

ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය 14%කජන්ද ප්‍රතිශතයක් ගත් වෙලාවේ හිටපු කී දෙනෙක් දැන් ශ්‍රීලනිපයත් එක්ක ඉන්නවාද යන්න පිළිබඳවත් සිතා බැලිය යුතු බව මන්ත්‍රීවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.