අධ්‍යාපන බලධාරීන්ගේ නිහඬ පිළිවෙතින් සිසු ජීවිතයක් අහිමි වෙයි

අධ්‍යාපන බලධාරීන්ගේ නිහඬ පිළිවෙතින් සිසු ජීවිතයක් අහිමි වෙයි

11 January 2019 11:59 am

කැකිරාව අධ්‍යාපන කලාපයේ පලාගල බුදුගේහින්න මහ විදුහලේ සිසුවෙකු පාසලේ සිදුකෙරෙන අවිධිමත් ඉදිකිරීමක කණුවක් කඩා වැටී මියයාම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය වගකිව යුතු බව දිවයිනේ ප්‍රමුඛතම ගුරු සංගමයක් සදහන් කරයි.

සිසුවාගේ මරණයට හේතු වී ඇත්තේ පාසලේ විදුහල්පතිවරයා විසින් අනුමැතියකින් තොරව සිදු කරන ලද ඉදිකිරීමක කණුවක් කඩා වැටීම බවයි ලංකා ගුරු සංගමය පවසන්නේ.

රජයට අයත් පාසල් පද්ධතිය තුළ අනුමැතියකින් තොරව විදුහල්පතිවරුන්ට මෙසේ ඉදිකිරීම් කළ නොහැකි වුවත් පාසල් පද්ධතිය තුළ දෙමාපියන්ගෙන් මුදල් එකතු කර විදුහල්පතිවරු විසින් මෙවැනි අවිධිමත් ඉදිකිරීම් කිරීම සුලබ තත්ත්වයක් වී ඇති බව නිවේදනයක් නිකුත් කරමින් ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පෙන්වා දෙයි.

එසේ වී තිබෙන්නේ එම අනීතික ක්‍රියායාවන්ට අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිහඬ අනුමැතියක් දී තිබීම නිසා බවට ද ගුරු සංගම් නායකයා චෝදනා කරයි.

ඒ තත්ත්වය තුළ මෙවැනි අනතුරු සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය මෙන්ම පළාත් අධ්‍යාපන බලධාරීන් ද වගකිව යුතු බවයි ඔහු සිය නිවේදනය මගින් වැඩි දුරටත් පෙන්වා දෙන්නේ.

"අධ්‍යාපන අමාත්‍යාංශය විසින් පෙර ක්‍රියාත්මක කළ 05/2015 චක‍්‍රලේඛය හා වර්තමානයේ ක්‍රියාත්මක 26/2018 චක‍්‍රලේඛය දඩමීමා කර ගනිමින් පාසල්වල විදුහල්පතිවරු පාසලේ නඩත්තු කටයුතු යයි විවිධ අවශ්‍යතා පෙන්වමින් දෙමාපියන්ගෙන් මුදල් එකතු කිරීම සිදු කරන්නේ අධ්‍යාපන අමාත්‍යාංශයේ පූර්ණ අනුග‍්‍රහය සහිතවය".

"බුදුගේහින්න විදුහලේ විදුහල්පතිවරයා විසින් ද එම තත්ත්වය යටතේ දෙමාපියන්ගෙන් මුදල් එකතු කර කිසිදු අනුමැතියකින් තොරව තමාට අයත් නොවන කාර්යයක් වන පාසලේ ක්‍රීඩා විවේකාගාරයක් ඉදිකිරීම කරඇති අතර, එහි තිබූ කොන්ක්‍රීට් කණුවක් කඩා වැටීමෙන් මෙම සිසුවාගේ මරණය සිදු වී ඇත."

"අධ්‍යාපන අමාත්‍යාංශය විසින් පාසල්වල අවශ්‍යතා හඳුනාගෙන නීත්‍යානුකූල ලෙස විධිමත්ව නියමිත පිරිවිතර සහිතව පාසලට අවශ්‍ය ඉදිකිරීම් සිදු කළේ නම් මෙවැනි ජීවිත අහිමි වීම් සිදු නොවේ."

මේ ආකාරයට බොහෝ පාසල්වල නීත්‍යානුකූල නොවන ලෙස මුදල් එකතු කරමින් අවිධිමත් ඉදිකිරීම් සිදු කරන අතර, එවැනි ක්‍රියා‍මාර්ගවල නිරත පාසල් හඳුනාගෙන එවැනි ඉදිකිරීම් වහා නතර කිරීමටත්, නීත්‍යානුකූල නොවන මුදල් එකතු කිරීම් සම්බන්ධයෙන් විධිමත්ව පියවර ගැනීමට කටයුතු කරන ලෙසත් ලංකා ගුරු සංගමය අධ්‍යාපන අමාත්‍යාංශයෙන් මෙන්ම පළාත් අධ්‍යාපන බලධාරීන්ගෙන් ද ඉල්ලා සිටී.

CR