මාධ්‍ය විරෝධයට අපේ සම්බන්ධයක් නැහැ

මාධ්‍ය විරෝධයට අපේ සම්බන්ධයක් නැහැ

11 January 2019 01:30 pm

සමාජ ක්‍රියාකාරී කණ්ඩායම් ගණනාවක් විසින් ඊයේ දිනයේ (10 ) මාධ්‍ය ආයතන ඉදිරිපිට පැවැත්වූ විරෝධතාවට එක්සත් ජාතික පක්ෂයේ කිසිදු සම්බන්ධතාවයක් නොමැති බව නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කරයි.

මෙරට ප්‍රජාතන්ත්‍රවාදය හා ජනතා පරමාධිපත්‍යය ආරක්‍ෂා කරලීම වෙනුවෙන් ඔක්තෝබර් 26 වන දා සිට සටන් වැදි සමාජ ක්‍රියාකාරී කණ්ඩායම් ගණනාවකගේ සංවිධානත්වයෙන් එම විරෝධතාව සංවිධානය වී ඇති ඇති බවයි එක්සත් ජාතික පක්ෂය සඳහන් කරන්නේ.

එක්සත් ජාතික පක්‍ෂය සැමවිට ම මාධ්‍ය නිදහස ගරු කරන හා ආරක්‍ෂා කරන පක්‍ෂයක් වන අතර මෙරට මාධ්‍ය ආයතනයන් වෙත බෝම්බ ප්‍රහාර හා ප්‍රචණ්ඩත්වය එල්ල වූ අවස්ථාවන්හිදීත්, මාධ්‍යවේදීන් ඝාතනයට හා තර්ජනයට ලක්වූ අවස්ථාවන්හිදීත් එජාපය මාධ්‍ය නිදහස හා මාධ්‍යවේදීන්ගේ ආරක්‍ෂාව වෙනුවෙන් පෙනී සිටි බවද එම නිවේදනයෙන් සිහිපත් කරයි.

මාධ්‍ය නිදහස වෙනුවෙන් පෙනී සිටින අයුරින්ම ජනතාවගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය වෙනුවෙන් ද පෙනී සිටින බව එම නිවේදනයේ දැක්වෙයි.

"රටේ පවත්නා නීතියට අනුකූලව සාමකාමීව විරෝධතා පැවැත්වීමේ අයිතිය ඕනෑම පුරවැසියෙකු සතුය. ශිෂ්ට සම්පන්න හා ශීලාචාර අයුරින් පවත්වන විරෝධතාවයකට සිය මාධ්‍ය බලය උපයෝගී කරගනිමින්, පහර එල්ල කරන්නට හා පලවා හරින්නට ක්‍රියා කරන මාධ්‍ය ආයතන මගින් ප්‍රදර්ශනය වන්නේ කළු මාධ්‍ය මාෆියාවේ සැබෑ ස්වරූපය මිස අන් කිසිවක් නොවේ.

තවත් අවාසනාවන්ත කරුණක් වන්නේ මෙකී මාධ්‍ය ආයතන විසින්, නීතිරීතිවලට යටත්ව, සාමකාමී හා ශීලාචාර ලෙස විරෝධය පාන කොටස් එන්ජීඕ කාරයන් හා ජාත්‍යන්තර කුමන්ත්‍රණකරුවන් ලෙස හංවඩු ගැසීමයි. රට ගිනි තියමින්, නීති බිදිමින්, ප්‍රචණ්ඩත්වය වපුරමින් විරෝධතා සිදු කරන කොටස් දේශප්‍රේමීන් ලෙස ඔටුනු පැළඳීමයි."

ඒ අනුව මහත්මා ගතිගුණ ප්‍රදර්ශනය කරමින්, විරෝධතාකරුවන්ගේ සංදේශ භාර ගැනීමට ක්‍රියා කළ මාධ්‍ය ආයතන වෙත සිය පක්‍ෂයේ ප්‍රසාදය හිමි වන අතර, එසේ නොකොට තම ඒකාධිපතිත්වය ප්‍රදර්ශනය කළ කළු මාධ්‍යයන් වෙත විරෝධය හා පිළිකුල ප්‍රකාශ කරන බවද එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.

unp 01