බුද්ධාගමට මුල් තැන දීම එජාප ප්‍රතිපත්තියයි - ඇමැති කිරිඇල්ල

බුද්ධාගමට මුල් තැන දීම එජාප ප්‍රතිපත්තියයි - ඇමැති කිරිඇල්ල

11 February 2019 05:40 am

නව ව්‍යවස්ථාව සම්බන්ධයෙන් මෙහෙයුම් කමිටුවක් පත් කිරීමේ යෝජනාවට කතානායකවරයා හැර පාර්ලිමේන්තුවේ සියලු දෙනා ඡන්දය ප්‍රකාශ කළ බව සභානායක, රාජ්‍ය ව්‍යවසාය, කන්ද උඩරට උරුමය සහ මහනුවර සංවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.

නව ව්‍යවස්ථාවක් සඳහා මේ අවස්ථාවේ විරෝධය පළ කළත් එදා මහින්ද රාජපක්ෂ, දිනේෂ් ගුණවර්ධන යන මහත්වරු ඇතුළු පක්ෂ විපක්ෂ සියලු දෙනා නව මෙහෙයුම් කමිටුවක් පත්කරන ලෙස ඉදිරිපත් කළ යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළ බව හන්තාන ප්‍රදේශයේ පැවති උත්සවයකදී අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

හන්තාන සඳගිරි මහා සෑයේ සලපතල මළුවේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කරමින් පැවැති උත්සවය නිමිත්තෙන් අදහස් දැක් වූ අමාත්‍යවරයා තවදුරටත් මෙසේ ප්‍රකාශ කළේ ය.

laxman 02

“නව ව්‍යවස්ථාවක් පිළිබඳව ඇතැමුන් බිය පළ කළත් අප තවම ව්‍යවස්ථාවක් හෝ කෙටුම්පතක් සකස් කර නෑ. ඒ සම්බන්ධයෙන් තියෙන්නේ යම් යම් යෝජනාවලියක් විතරයි.”

“පාර්ලිමේන්තුවේ සියලු දෙනා එක්ව වගන්තියෙන් වගන්තිය සාකච්ඡා කොට රටට උචිත ලෙස ව්‍යවස්ථාවක් සකස් කිරීමයි අපේ අරමුණ. ඉතිහාසයේ පළමු වතාවට මේ සඳහා ද්‍රවිඩ පක්ෂ සහභාගී කර ගැනීමත් සුවිශේෂ අවස්ථාවක්”.

“අතීතයේ දී නව ව්‍යවස්ථා සම්පාදනයේ දී කිසිදු අවස්ථාවක සුළු ජාතික පක්ෂ සඳහා අවස්ථාවක් හිමිව තිබුණේ නැහැ. නමුත් අප මේ අවස්ථාවේ දී ද්‍රවිඩ පක්ෂ සඳහා සුදුසු අවස්ථාවක් ලබා දී තිබෙනවා”.

laxman 03

“රට බෙදන හෝ ෆෙඩරල් රාජ්‍යයක් කරා රට ගෙන යන ව්‍යවස්ථාවක් සම්පාදනය වන්නේ නැහැ. බුදු දහමට හිමි ස්ථානයට ද ඉන් කිසිදු හානියක් වන්නේ නැහැ. නමුත් පළාත් සභා සඳහා යම් විධිමත් බලයක් ලබාදීම අවශ්‍යයි.”

“අපි අනෙකුත් ජාතීන් සමග අමනාප වී වැඩක් නැහැ. වසර දෙදහසක ඉතිහාසයක් අපට තිබෙනවා. නමුත් සමහරු දන්නේ 1956, 1971 සහ 1989 දී සිදුවූ ඉතිහාසයන් විතරයි. එවැනි ඉතිහාසයක් දන්නා පුද්ගලයන්ගෙන් රටට සේවයක් වෙතැයි අපේක්ෂා කිරීම සැක සහිතයි”.

එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්තිය වන්නේ බුද්ධාගමට මුල්තැන ලබා දීම බව අමාත්‍යවරයා එහිදී සදහන් කළේය.

ඔහු වැඩිදුරටත් සදහන් කළේ, සෙසු ජාතීන්ට සාධාරණය ඉෂ්ඨ කිරීම තම පක්ෂයේ අපේක්ෂාව බවයි.

මහනුවර නගරාධිපති කේසර සේනානායක, මහනුවර කඩවත්සතර සහ ගඟවට කෝරලේ ප්‍රාදේශීය සභාවේ සභාපති සුභාෂ් යටවර යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාව සඳහා සහභාගිව සිටියහ.

නදීක දයා බණ්ඩාර - මහනුවර

laxman 01

laxman 04