"දේශීය කෘෂි බීජ සියල්ල වඳ වෙලා" නාමල් කරුණාරත්න

"දේශීය කෘෂි බීජ සියල්ල වඳ වෙලා" නාමල් කරුණාරත්න

11 February 2019 06:50 am

මැලේරියා සහ ඩෙංගු වසංගත තුරන් කිරීමට රජය කටයුතු කළ ආකාරයට සේනා දළඹු උවදුර මර්ධනය කිරීමටද ආණ්ඩුව උත්සුක විය යුතු බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායකවරයා පවසයි.

නාමල් කරුණාරත්න මහතා ඒ බව සදහන් කළේ දඹුල්ල යාපාගම සියපත හෝටල් සංකීර්ණයේ පසුගියදා පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

සේනා දළඹු උවදුර මර්ධනය කිරීමට ආණ්ඩුව උත්සුක විය යුතු එබැවින් ඒ සඳහා විද්වතුන්ගේ සහභාගිත්වය අත්‍යවශ්‍ය දෙයක් බව පෙන්වා දෙන නාමල් කරුණාරත්න මහතා අවධාරණය කරන්නේ ඔවුන් නොසලකා හැර කටයුතු කිරීමෙන් මෙම දළඹු රෝගය මර්ධනය කිරීමට නොහැකි බවයි.

"මෙම වසංගත රෝගය මැඩලීමට නම් එහි බෙල්ලෙන්ම අල්ලාගත යුතුයි. එසේ නොමැතිව වල්ගයෙන් අල්ලා ගැනීමෙන් පලක්වන්නේ නැහැ."

"මේ දළඹුවා ආක්‍රමණිකයෙක්. බොහෝ අවස්ථාවලදී මෙම කෘමියා බහුජාතික සමාගම් විසින් මෙහි කෘෂිකාර්මික කටයුතුවලට හානි කිරීම සඳහා නිර්මාණය කළ සතෙකුද විය හැකියි. මෙම සතා ජාන විකෘතියක ප්‍රතිඵලයක්. ඇමරිකානු සමාගමක් විසින් මෙම සේනා කෘමියාට ඔරොත්තුදිය හැකි බඩඉරිඟු බීජ මේ වනවිට හඳුන්වා දී තිබෙන බැවින් මෙය පිටුපස යම්කිසි කුමන්ත්‍රණකාරි ක්‍රියාමාර්ගයක් ඇති බවට ජනතාව අතර සැකයක් පවතිනාවා."

"මේ වනවිට ඇමරිකාවේ මොන්සෙන්ටෝ සමාගම විසින් පලිබෝධ නාශක වර්ග කීපයක් මෙම සේනා දළඹුවා මර්ධනය කිරීම සඳහා නිකුත්කර තිබෙනවා. මෙම සියලු කෘෂි රසායනික වර්ග අපේ පො‍ළොවට විෂයි. මෙම කෘෂි රසායන ද්‍රව්‍ය යොදා සිදුකරන නිෂ්පාදනයන් නිසා මේ රටේ අනාගත පරපුරට විවිධ රෝගාබාධ වැලදීම කිසිසේත්ම වැලැක්විය නොහැකියි. එපමණක් නොව මේ නිසා දේශීය කෘෂි කර්මාන්තයද සම්පූර්ණයෙන්ම විනාශ වී යනවා."

මෙම කෘමි රෝග මර්ධනය සඳහා දේශීය ක්‍රමවේදයන් සොයාගත හැකි නමුත් රජය ඒ කෙරෙහි කිසිදු අවධානයක් යොමු නොකරන බවටත් චෝදනා එල්ල කරන ගොවි නායකයා තවදුරටත් අවධාරණය කළේ මේ වනවිට රටේ දේශීය කෘෂි බීජ සියල්ල වඳ වී ගොස් ඇති බවයි.

"දැන් ආනයනික පැපොල් බීජ ඇට කිලෝවක මිල රුපියල් ලක්ෂ නවයයි. මෙයින් සිදුවන්නේ දේශීය ගොවියා නගාසිටුවීම නොවේ මේ ගොවියා විනාශ කිරීමයි."සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා එහිදී වැඩිදුරටත් සදහන් කළේය.

CR