ගෝඨා ඇමරිකාවට යන්න හදයි - කෞතුකාගාර නඩුව නොඅසන්නැයි යළි ඉල්ලයි

ගෝඨා ඇමරිකාවට යන්න හදයි - කෞතුකාගාර නඩුව නොඅසන්නැයි යළි ඉල්ලයි

15 March 2019 11:41 pm

ඩී. ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය සහ ස්මාරකය ඉදිකිරීමේදී රාජ්‍ය මුදල් රුපියල් තුන් කෝටි තිස් නව ලක්ෂයකට අධික ප්‍රමාණයක් අවභාවිතා කිරීම සම්බන්ධයෙන් නඩු පැවරී ඇති ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට මාර්තු 26 වනදා සිට අප්‍රේල් 12 වනදා දක්වා කාලය තුළ විදෙස්ගත වීමට අධිකරණය ඊයේ (15) අවසර ලබා දුන්නේය.

 

ඒ, එම නඩුව ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයෙහිදී කැඳවූ අවස්ථාවේදීය. ඒ මහතාගේ නීතීඥවරුන් කළ ඉල්ලීමක් මෙසේ ඒ මහතාට පනවා ඇති විදෙස් ගමන් තහනම තාවකාලිකව ලිහිල් කෙරුණු අතර අධිකරණය භාරයේ ඇති ඔහුගේ විදෙස් ගමන් බලපත්‍රය මුදා හැරීමට ද නියම කෙරිණි.

එසේම ගෝටාබය රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටින ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති කාලිංග ඉන්ද්‍රතිස්ස සහ අනිල් ද සිල්වා යන නීතීඥවරුන් විසින් ඊයේ දිනයේ නැවතත් මෙම නඩුවට මූලික විරෝධතාවක් ගොනු කරන ලදී.

මෙම නඩුවේ චෝදනා ගොනු කර ඇති ආකාරය අපරාධ නඩු විධාන සංග්‍රහයට පටහැණි බවත් මෙම චෝදනා විභාග කළහොත් ගෝටාබය රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන්ට දැඩි අගතියක් සිදුවන බවත් පවසමින් එම මූලික විරෝධතාවය ගොනු කෙරුණු අතර ඔවුන් ඉල්ලා සිටියේ මෙම චෝදනා පවත්වාගෙන යා නොහැකි බවට තීන්දුවක් ලබාදෙන ලෙසයි.

ඒ අනුව නඩුව ලබන 28 වනදා කැඳවීමට නියම කළ විශේෂ මහාධිකරණය එදිනට මෙම මූලික විරෝධතාව සම්බන්ධයෙන් නීතිපති මතය ඉදිරිපත් කරන ලෙස ද නියෝග කළේය.

මීට පෙර ද මෙම නඩුව විභාග කිරීම සඳහා ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයට ඇති බලය අභියෝගයට ලක් කරමින් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නීතීඥවරයා ඉදිරිපත් කළ මූලික විරෝධතාවක් ප්‍රතික්ෂේප කෙරිණි. ඒ සම්බන්ධයෙන් ගෝටාබය රාජපක්ෂ මහතා අභියාචනාධිකරණයෙහි පෙත්සමක් ද ගොනු කර තිබේ.

අධිකරණය ඉදිරියේ සිය නිරවද්‍යතාව ඔප්පු කරනු වෙනුවට නඩුව හැකිතාක් කල් ඇදීම සඳහා ගෝටාබය රාජපක්ෂ මහතා මුල සිටම කටයුතු කරන ආකාරයක් පෙන්නුම් කෙරිණි.

RN