මහින්ද හදිසියේ තජුඩීන් ගැන කියන්නෙ ගෝඨාභයට ගහන්නද ? - රන්ජන් රාමනායක

මහින්ද හදිසියේ තජුඩීන් ගැන කියන්නෙ ගෝඨාභයට ගහන්නද ? - රන්ජන් රාමනායක

20 March 2019 05:26 am

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හදිසියේ වසීම් තජුඩීන් ඝාතන සිදුවීම සම්බන්ධයෙන් කතා කරන්නේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරණය ඉදිරිපත් වීමට සූදානම් වන නිසාද යන්න පිළිබඳ සැකයක් පවතින බව රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා පවසයි.
 
රාජ්‍ය ඇමතිවරයා අද (20) කොළඹදී මාධ්‍ය හමුවක් පවත්වමින් මේ බව සඳහන් කළේය.
 
හිටපු ජනාධිපතිවරයා ඊයේ පැවති උත්සයක් අමතමින් ප්‍රකාශ කළේ වසීම් තජුඩීන්ගේ මරණය ඝාතනයක් නොව රිය අනතුරක් බවයි. ඔහු පැයට කිලෝ මීටර් 175 ක වේගයෙන් සිය රථය ධාවනය කිරීමේදී මෙම අනතුර සිදුව ඇති බවත්, එය ඝාතනයක් ලෙස හුවා දැක්වීම සම්පූර්ණ අසත්‍යයක් බවත් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.
 
වසීම් තජුඩීන්ගේ මරණය සිදු වූයේ හදිසි අනතුරක් හේතුවෙන් නම්, පැයට කිලෝමීටර් 175 ක වේගයෙන් රථය ධාවනය කළ තජුඩීන් රථය ගිනිගන්නා මොහොතේ රියදුරු අසුනේ නොසිට වම්පස අසුනේ සීට් බෙල්ට් දමාගෙන සිටියේ කෙසේද යන්න පිළිබඳව ද හිටපු ජනාධිපතිවරයා පැහැදිලි කළයුතු බව රාජ්‍ය ඇමතිවරයා පවසයි. තවදුරටත් අදහස් දක්වමින් මහින්ද රාජපක්ෂ මහතා වෙත ප්‍රශ්න කිහිපයක් ඉදිරිපත් කළේය.
 
වසීම් තජුඩීන් පැයට කිලෝමීටර් 175 ක වේගයෙන් රථය ධාවනය කළ බව රාජපක්ෂ මහතා දැනගත්තේ කෙසේද ?
තජුඩීන් පැයට කිලෝමීටර් 175 ක වේගයෙන් රථය ධාවනය කළ බවත්, එය ඔහුගේ මරණයට හේතු වූ බවත් වසර 07 ක් තිස්සේ හෙලිදරව් නොකළේ මන්ද ?
හදිසි අනතුරකින් රථය ගිනිගත්තේ නම් ඉන්ධන ටැංකිය ගිනි නොගත්තේ ඇයි ?
රථය ගිනි ගැනීමෙන් තජුඩීන් මියගියේ නම් ඔහුගේ සිරුරෙන් කාබන් ඩයොක්සයඩ් හමු නොවූයේ මන්ද ?
ඔහු හදිසි අනතුරකින් මියගියේ නම් සිරුරේ අස්ථි කොටස් අතුරුදන් වූයේ කෙසේද ?
මෙම අනතුර සිදුවූ රාත්‍රියේදී හිටපු ජ්‍යෙෂ්ට නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතාට සහ නාරාහේන්පිට පොලීසියට අරලියගහ මන්දිරයෙන් දුරකතන ඇමතුම් විශාල ප්‍රමාණයක් ලැබුණේ ඇයි ?
 
තජුඩීන්ගේ මරණය සිදු වූ ආකාරය පිළිබඳව ප්‍රකාශ කරන හිටපු ජනාධිපතිවරයා මෙම ගැටලුවලට ද පිළිතුරු ලබාදෙනු ඇතැයි බලාපොරොත්තු වන බවයි රන්ජන් රාමනායක මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.
 
UN