කථානායක හා අස්ගිරි මහනායක හිමියන් අතර හමුවක්!

කථානායක හා අස්ගිරි මහනායක හිමියන් අතර හමුවක්!

20 March 2019 12:38 pm

අකමැත්තෙන් වුවද මෙරට දේශපාලනයට පැමිණියේ නිදහස් අධ්‍යාපනයෙන් ලැබූ ණය යළි ගෙවා දැමීම සඳහා යැයි කථානායක කරු ජයසූරිය මහතා ප්‍රකාශ කළේය.

 මුල් යුගයේ දී දේශපාලනයට පිවිසීමට අකමැති වූ නමුත් ජනතාව වෙනුවෙන් යම්කිසි සේවයක් සිදු කිරීමට හැකියාව ලැබෙනු ඇතැයි විශ්වාස කළ බව අස්ගිරි පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ඥානරතන හිමිපණන් වහන්සේ හමුවේ කතානායකවරයා අද (20) ප්‍රකාශ කළේය.

මල්වතු පාර්ශවය මගින් පිළිගැන්වූ ශාසන කීර්ති ශ්‍රී දේශාභිමානී ගෞරව නාමය ලැබීම පිළිබඳව සහ අස්ගිරි පාර්ශවයේ මහා සංඝරත්නය ඊට සහභාගීකරවීම පිළිබදව කෘතවේදීත්වය පුද කොට ආශිර්වාද ලබා ගැනීම සඳහා කථානායක කරූ ජයසූරිය මහතා අස්ගිරි මහ විහාරයේදී එම පාර්ශවයේ මහා නායක හිමිපාණන් වහන්සේ බැහැ දුටුවේය.

ලෝකයේ දියුණු වූ බොහෝ රටවල් පක්ෂ විපක්ෂ භේදයෙන් තොරව රටේ සංවර්ධනය සඳහා කැපවීමෙන් ක්‍රියාකරන නමුත් ශ්‍රී ලංකාවේ පවතින්නේ ගැටුම්කාරී දේශපාලන තත්ත්වයක් යැයි කථානායක සඳහන් කළේය.

"කුඩා කල සිටම මට මහා සංඝරත්නයේ මගපෙන්වීම ඉතාමත්ම වැදගත් වුණා. වර්තමානයේ දී වුවද මහා සංඝරත්නයේ මධ්‍යස්ථ මගපෙන්වීම දේශපාලන ක්‍රියාවලිය සඳහා ඉතාමත්ම වැදගත්. මම දේශපාලනයට ප්‍රවේශ වූ එක් අවස්ථාවකදී පමණයි කටවුට්,පෝස්ටර්, බැනර් ප්‍රචාරණය කළේ. ඉන්පසු කිසිම අවස්ථාවක එවැනි ප්‍රචාරක දැන්වීම් භාවිතා කළේ නැහැ. කිසිම අවස්ථාවක මට විරුද්ධ මත දරන පුද්ගලයන් විවේචනය කර නැහැ.

රටේ ජාතික ප්‍රශ්නවලදී පක්ෂ පාට භේදයෙන් තොරව සියලු දේශපාලඥයන් එක්ව සාකච්ඡා කොට නිසි විසඳුම් ලබාදීමට හැකිනම් එය තමයි දේශපාලනයේ වඩාම සුදුසු පරමාදර්ශය වන්නේ. මේ සම්බන්ධයෙන් මම සියලුම දේශපාලනඥයන්ට ආරාධනා කරනවා. මේ වන විට රට තුළ ගැටලු ගණනාවක් තිබෙනවා. පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට පෙර පාර්ලිමේන්තු කාලය තුළ පක්ෂ විපක්ෂ අප සියලු දෙනා මේ පිළිබඳව සාකච්ඡා කොට පොදු විසඳුම් ලබා ගැනීම ඉතාමත්ම උචිතයි. පොදු විසඳුමක් කරා යොමුවීමෙන් අනාගත පරපුරට ගැටලුවෙන් තොරව මෙරට ජීවත්වීමේ හැකියාව තිබෙනවා.

බල ලෝභීත්වය නිසා දේශපාලඥයන්ට අපේ රට පිළිබඳව අවධානය යොමු කරන්න වෙන්නේ නැහැ. නමුත් නූපන් පරපුරට ඒ තුළින් වෙන්නෙ මහා විනාශයක්. තරුණ පරපුරට නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙනුම ලබා හොඳ රැකියාවක් කරා යොමු වීමට අවස්ථාව ලැබිය යුතුයි. නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙනුම ලැබූ බොහෝ දෙනෙක් අද විදේශ ගත වුවත් ඔවුන් එලෙස පිටවන්නේ කැමැත්තකින් නම් නොවෙයි. නාසා ආයතනයේ පවා ශ්‍රී ලාංකිකයන් විශාල ප්‍රමාණයක් ඉන්නවා.

ලෝකයේ දියුණු රටවල මැතිවරණයක් තිබුණා යැයි බාහිරින් දැන ගන්නවත් විදිහක් නැහැ. නමුත් මෙරට මැතිවරණවල දී මරා ගන්නවා වෙඩි තබා ගන්නවා අපහාස කරනවා. කුඩු - මත්ද්‍රව්‍ය සංස්කෘතිය මැඩලීම සඳහා දැඩි නීති පැනවිය යුතුයි. පාර්ලිමේන්තුව තුළින් ව්‍යවස්ථාදායක සභාව සහ ස්වාධීන කොමිෂන් සභාව ආදිය ශක්තිමත් කොට නීතිය වඩාත් බලාත්මක විය යුතුයි. දැනටමත් එහි මූලික අවස්ථාව ශ්‍රී ලංකාවේ තහවුරු වී හමාරයි."

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව ලෝකයේ උසස්ම මානව හිමිකම් කොමිසමක් වශයෙන් අද වනවිට සම්භාවනාවට පත් වී ඇතැයි ද කථානායක කරූ ජයසූරිය මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

නදීක දයා බණ්ඩාර - මහනුවර