තවදුරටත් විදුලි කප්පාදුවක් නැහැ - නොරොච්චෝලේ ක්‍රියාත්මකයි

තවදුරටත් විදුලි කප්පාදුවක් නැහැ - නොරොච්චෝලේ ක්‍රියාත්මකයි

20 March 2019 01:00 pm

නොරොච්චෝල ලක්විජය විදුලි බලාගාරයේ දෙවන ජනන යන්ත්‍රයේ ඇතිවූ හදිසි බිදවැටීම හේතුවෙන් පසුගිය දෙදින තුළ දිවයිනේ යම් යම් ප්‍රදේශවලින් විදුලිය බිදැටීම් වාර්තා වුවත් මේ වනවිට එම තත්ත්වය සම්පූර්ණයෙන්ම යථා තත්ත්වයට පත්කර ඇතැයි විදුලිබල,බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ සංවර්ධන සහ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා පැවසීය.

 

ඔහු මේ බව සඳහන් කළේ අද (20) අමාත්‍යාංශයේදී පැවති මාධ්‍ය හමුවේදීය.

ලංකා විදුලිබල මණ්ඩලය විසින් කාලසටහනක් අනුව සිදුකරනු ලබන විදුලි කප්පාදුවක් පිළිබදව මේ දිනවල විවිධ සමාජ ජාලා ඔස්සේ අසත්‍ය ප්‍රවෘත්ති ජනතාව අතරට යමින් පවතින බව ඔහු එහිදී කියාසිටියේය.

එවැනි කිසිදු විදුලිය සිදලීමේ නිවේදනයක් අමාත්‍යාංශය මගින් නිකුත්කර නොමැති බව වගකීමෙන් ප්‍රකාශ කරන බව ජයවර්ධන මහතා ප්‍රකාශ කළේය.

මේ දිනවල පවතින අධික වියළි කාලගුණික තත්ත්වයන් හේතුවෙන් විදුලි ඉල්ලුමේ පැහැදිලි වර්ධනයක් සිදුවී තිබෙන අතර සෑම වර්ෂයකම ජනවාරි- අප්‍රේල් මාස වලදී විදුලි ඉල්ලුම ඉහළ යාමේ ප්‍රවණතාවයක් පෙන්නුම් කරන බවයි හෙතෙම කියාසිටියේ.

එවැනි පසුබිමක වුවද විදුලි ක්පපාදුවකට යාමට අදහස් කර නොමැති බව ඔහු අවධාරණය කළේය.

"මේ දිනවල පවතින වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් විදුලි බලාගාර ආශ්‍රිත ජලාශයන්හි ජල මට්ටම සැලකිය යුතු මට්ටමකින් පහළ බැස තිබෙනවා. ඒ අනුව මේ වනවිට පවතින ජල මට්ටම්. කාසල්රි - 9%, මාඋස්සාකැලේ- 26.4%, කොල්මලේ - 34.1%, වික්ටෝරියා - 37.3%, රන්දෙනිගල - 87.8%, සමනලවැව - 18.5% වශයෙන් දක්වන්න පුළුවන්.

මෙම තත්ත්වයන් සැලකිල්ලට ගෙන බලශක්ති ක්ෂේත්‍රය පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් වෙත යොමුවෙමින් පවතින බවයි සුලක්ෂණ ජයවර්ධන මහතා පෙන්වාදුන්නේ.

ඒ අනුව මේ වනවිට සමස්ත දිවයින ආවරණය වන පරිද්දෙන් සුර්ය විදුලිබල උත්පාදන ක්‍රියාවලිය හදුන්වාදී ඇති අතර එමගින් ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 150ක් වැනි ප්‍රමාණයක දායකත්වයක් ලැබෙන බව ඔහු කියාසිටියේය.

"ආසියානු සංවර්ධන බැංකු ණය ආධාර යටතේ මෙරට බැංකු පද්ධතිය මගින් 8% සහන පොළී අනුපාතයක් මත සූර්ය විදුලිබල කට්ටල මිලදී ගැනීමට ණය පහසුකම් ලබාදීමට කටයුතු යොදා තිබෙනවා. ඒ වගේම අතිරික්ත නිෂ්පාදිතය ලංකා විදුලිබල මණ්ඩලයට මිලදී ගැනීමටත් අපි සැලසුම් සකස් කර තිබෙනවා. මෙවැනි ක්‍රියාමාර්ග තුළින් සූර්ය විදුලිබල නිෂ්පාදනය ප්‍රවර්ධනය කරන්න අපි කටයුතු කරනවා."

ලක්විජය ගල් අගුරු බලාගාරය ස්ථාපිත කිරීමෙන් අනතුරුව ජාතික විදුලිබල පද්ධතියට සැලකිය යුතු දායකත්වයක් ලබාදීමට සමත් බලාගාරයක් මේ දක්වා ඉදිකර නොමැති බවත් ඉදිකිරීමට යෝජිත සහ වැඩ ආරම්භ කළ බලාගාර පවා යම් යම් හේතූන් මත ඉදිකිරීම් ප්‍රමාද වී ඇති බවත් ඔහු පැවසුවේය.

දෛනිකව ඉහළ යන විදුලි ඉල්ලුම සමස්තයක් වශයෙන් ගත්කල වාර්ෂිකව 10% ක පමණ ප්‍රමාණයකින් ඉහළ යන බවද ජයවර්ධන මහතා සඳහන් කළේය.

"මේ මට්ටම ඉහළ පහළ යා හැකියි. මෙම තත්ත්වයන් හමුවේ අඛණ්ඩ විදුලිබල සැපයුමකට අභියෝගයක් තිබෙනවා. නමුත් මෙම අභියෝගය හමුවේ එයට විසදුමක් වශයෙන් විදුලි පාරිභෝගික ජනතාවට අපහසුතාවක් ඇතිවන පරිද්දෙන් විදුලි කප්පාදුවකට යන්න අප අමාත්‍යාංශ මට්ටමෙන් කිසිදු තීරණයක් ගෙන නැහැ."

පවතින අභියෝග ජයගැනීම සදහා කෙටිකාලීන විසදුම් කඩිනමින් ක්‍රියාත්මක කිරීමට කටයුතු කරමින් සිටින අතර ඒ අනුව පෞද්ගලික විදුලි ජනන යන්ත්‍ර ඇති තොග පාරිභෝගිකයන්ට තමන්ට අවශ්‍ය විදුලිය කෙටි කාල සීමාවකට තමන් විසින්ම නිපදවා ගැනීම දිරිගැන්වීමට යෝජනා ක්‍රමයක් ක්‍රියාවට නැංවීමට කටයුතු සකස් කරමින් පවතින බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.