16 වැනිදා රාත්‍රියේ කාත්තන්කුඩිහි අබිරහස් පිපිරීමක් - පරීක්ෂණ රහස් පොලීසියට

16 වැනිදා රාත්‍රියේ කාත්තන්කුඩිහි අබිරහස් පිපිරීමක් - පරීක්ෂණ රහස් පොලීසියට

20 April 2019 08:32 am

පසුගිය 16 වැනිදා රාත්‍රියේ කාත්තන්කුඩි පාලමුනෛ ප්‍රදේශයේ පිපිරීමක් සිදුව තිබෙනවා. එම ප්‍රදේශයට ඇද හැළුණු ධාරානිපාත වර්ෂාව මධ්‍යයේ පස්වරු 10 ත් 11 ත් අතර මෙම පිපිරීම සිදුව ඇති අතර ඒ හේතුවෙන් විශාල ශබ්දයක් නිකුත් වී තිබෙනවා.
 
එම ශබ්දය සාමාන්‍ය අකුණු ශබ්දයකට වඩා ප්‍රබල වීම හේතුවෙන් ජනතාව කලබලයට පත්ව ඇති අතර ඒ නිසා මුස්ලිම් ජාතිකයන් පිරිසක් විසින් මේ පිළිබඳව ප්‍රදේශය බාර පොලීසිය දැනුවත් කර ඇති නමුත් ඒ සම්බන්ධයෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන නොමැති බවයි වාර්තා වන්නේ.
 
කෙසේ වෙතත් මෙම පිපිරීම පිළිබඳව ඉහළ පොලිස් නිළධාරීන් දැනුවත් කිරීමෙන් පසුව පරීක්ෂණ කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාරදී තිබේ. 
 
එම දෙපාර්තමේන්තුවේ පොලිස් කණ්ඩායමක් සිදුකළ පරීක්ෂණවලදී හෙළි වී ඇත්තේ පුපුරා ගොස් ඇත්තේ Scooty-pep වර්යේ මෝටර් බයිසිකලයක් බවයි. කෙසේ වෙතත් එම පිපිරීම හේතුවෙන් අවට ප්‍රදේශයේ ගොඩනැගිලවලට හා භාණ්ඩවලට හානි සිදුව ඇති අතර ඒ අනුව මෙය පුපුරණ ද්‍රව්‍ය හා යකඩ බෝල භාවිතා කරමින් සිදුකළ අත්හදා බැලීමක් බවට රහස් පොලිස් නිළධාරීන් සැක කරනවා.
 
රහස් පොලීසිය පවසන්නේ මෙය යම් මුස්ලිම් අන්තවාදී කණ්ඩායමක ක්‍රියාවක් බවයි. මේ වනවිට ලොවපුරා ක්‍රියාත්මක වන මුස්ලිම් අන්තවාදී සංවිධානවලට සම්බන්ධ මෙරට මුස්ලිම් ජාතිකයන් සිටින බවට හෙළි වී ඇති අතර ඔවුන් බහුතරයක් ක්‍රියාත්මක වන්නේ නැගෙනහිර පළාතේ මුස්ලිම් බහුතරයක් වෙසෙන ප්‍රදේශ කේන්ද්‍ර කර ගනිමිනි.
 
ඒ අනුව මෙම පිපිරීම ද එවැනි අන්තවාදී කණ්ඩායමකට සම්බන්ධ වියහැකි බවත්, ඔවුන් කවුරුන්ද යන්න ඉදිරියේදී හෙළි කරගත හැකි වනු ඇති බවත් රහස් පොලීසිය පවසයි. එම නිළධාරීන් වැඩිදුරටත් පවසන්නේ වසර 30 කට වැඩි කාලයක් යුද්ධයෙන් බැට කෑ රටත් ජනතාවත් තවත් යුද්ධයක් වෙත කැඳවාගෙන යාම සඳහා කිසිදු ජාතිවාදී, ආගම්වාදී හෝ අන්තවාදී කල්ලියකට ඉඩ නොතබන බවයි.
 
මෙම පිපිරීම සිදු වූ ස්ථානය කොළඹ පදිංචි මුස්ලිම් ව්‍යාපාරිකයෙකුට අයත් වන අතර ඔහු එම ඉඩම මිලදී ගෙන ඇත්තේ මුස්ලිම් දේශපාලනඥයෙකු වන ඒ.එල්.එම්. හිස්බුල්ලා මහතාගෙනි.