එකම ශ්‍රී ලාංකික ජාතියක් ලෙස මනුෂ්‍යත්වයේ නාමයෙන් විපතට මුහුණ දීමට එකතු වෙමු - කරූ

එකම ශ්‍රී ලාංකික ජාතියක් ලෙස මනුෂ්‍යත්වයේ නාමයෙන් විපතට මුහුණ දීමට එකතු වෙමු - කරූ

21 April 2019 08:13 am

රටේ උද්ගතව ඇති තත්වය අනුව එකම ශ්‍රී ලාංකික ජාතියක් ලෙස මනුෂ්‍යත්වයේ නාමයෙන් ජාති ආගම් පක්ෂ භේදයකින් තොරව විපතට මුහුණ දීමට එක්වන ලෙස කථානායක කරූ ජයසූරිය මහතා සමස්ත රටවැසියන්ගෙන් ආයාචනා කර සිටී.

 

ඒ මහතා මේ බව පවසන්නේ අද (21) ආගමික ස්ථාන ඇතුළු ස්ථාන කිහිපයක සිදුවූ පිපිරීම් සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමිනි.

කිසිවකුත් අපේක්ෂා නොකළ මෙම පිපිරීම් සම්බන්ධයෙන් දැඩි සැලකිල්ල යොමු කරමින් පාර්ලිමේන්තුවෙන් ගත යුතු ක්ෂණික පියවර පිළිබඳව දැඩි අවධානය යොමු කර ඇති බවයි ඒ මහතාගේ නිවේදනයෙන් දැක්වෙන්නේ.

එහි මෙසේ ද සඳහන් වෙයි.

"මේ මොහොතේ මෙම තත්ත්වය කිසියම් ජාතියකට හෝ ආගමකට එරෙහි වූ විපතක් නොව අපගේ ආදරණීය මාතෘ භූමියටත් සහෝදරත්වයෙන් බැඳුණු සකලවිධ ශ්‍රී ලාංකික ජනතාවටත් මුහුණ දීමට සිදු වූ බරපතළ විපතක් බව පැහැදිලිය.

උද්ගත වී ඇති මෙම තත්ත්වය තුළ ඉතා අවබෝධයෙන්, වගකීමෙන් සහ සහෝදරත්වයෙන් යුතක්තව සාමකාමීව කටයුතු කිරීම තුළින් මෙම මිලේච්ඡ ක්‍රියාදාමයේ අවසන් අරමුණු ඉඳුරාම ව්‍යවර්ථ කළ හැකිවනු ඇත.

එකම ශ්‍රී ලාංකික ජාතියක් ලෙස මනුෂ්‍යත්වයේ නාමයෙන් ජාති ආගම් පක්ෂ බේදයෙන් තොරව මෙම විපතට මුහුණ දීමට එක්වන ලෙස සමස්ථ රටවැසියන්ගෙන් ඉතා ඕනෑකමින් ආයාචනා කරමි.

අපගේ එක්සත් බව තුළ මෙම කුරිරු ප්‍රහාරයට වගකිව යුතු ම්ලේච්ඡ බලවේග අප ආදරණීය මාතෘභූමියෙන් මුලිනුපුටා දැමීම සඳහා දිවි හිමියෙන් කැප වන බව ශපථ කරමු."

 

RN