හෙට පස්වරු 01 සිට 02 දක්වා පාර්ලිමේන්තුව රැස්කිරීමට තීරණය වෙයි

හෙට පස්වරු 01 සිට 02 දක්වා පාර්ලිමේන්තුව රැස්කිරීමට තීරණය වෙයි

22 April 2019 01:09 pm

පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්වීම (පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව) අද 2019-04-22 පස්වරුවෙහි ගරු කථානායකතුමාගේ ප්‍රධානත්වයෙන් කථානායක නිල කාර්යාලයේ දී පැවැත්වුණු අතර අග්‍රාමාත්‍යවරයා සහ විපක්ෂනායකවරයා සමඟ සාකච්ඡාකිරීමෙන් අනතුරුව හෙට ප.ව 01.00 සිට ප.ව02.00 දක්වා පාර්ලිමේන්තුව රැස් කිරීමට තීරණය කර ඇත.

 එහිදී අග්‍රාමාත්‍යවරයා සහ විපක්ෂනායකවරයා විසින් පවතින තත්ත්වය අළලා විශේෂ ප්‍රකාශයන් සිදුකිරීමටත් තීරණය කර තිබේ.

මෙම පක්ෂ නායක රැස්වීමට පොලිස්පතිවරයාවද කැඳවා තිබූ අතර ‍මේවනවිට පවතින තත්වය පිළිබඳව දීර්ඝ ලෙස කථානායකවරයා ඇතුළු පක්ෂ නායකයන් විසින් කරුණ විමසා ඇති අතර ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් ගතහැකි උපරිම ක්‍රියාමාර්ග සඳහා පූර්ණ ලෙස අවධානය යොමු කරන ලෙසට ද උපදෙස් දී තිබේ.

හදිසි නීතියට අදාළ රෙගුලාසි පිළිබඳව නිකුත්වීමට නියමිත ගැසට්පත්‍රය ද හෙට දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත අතර ඒ පිළිබඳව 2019-04-24 දින පාර්ලිමේන්තුව කැඳවා පෙරවරු 10 සිට පස්වරු 04.00 දක්වා විවාදයට ගැනීමට නියමිතයි.

මේ අතර ශ්‍රී ලංකාවේ ජාතික ආගමික සංහිඳියාව සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ හදිසි රැස්වීමක් ද අද පස්වරුවේ කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ දී පැවැත්වූ අතර මෙම අවස්ථාවට එහි සාමාජිකයන් වන ගාමිණි ජයවික්‍රම පෙරේරා,ජෝන් අමරතුංග, රවුෆ් හකීම්, අබ්දුල් හලීම්, මනෝ ගනේෂන්, ගයන්ත කරුණාතිලක, තලතා අතුකෝරළ, ඩග්ලස් දේවානන්ද, විජිත හේරත් යන මැති ඇමතිවරු එක්ව සිටියහ.

මෙහිදී කථානායකවරයා අවධාරණය කර ඇත්තේ ඇතිවූ සිද්ධීන් කිසිලෙසකින්වත් ජාතිවාදී හෝ ආගම්වාදී ස්වරූපයකින් වර්ධනය වීමට ඉඩ නොතැබිය යුතු බවයි. සියළුම සාමාජිකයෝ එම කරුණ පිළිබඳව අවධාරණය කරමින් අදහස් දක්වා තිබේ.

මේ අතර පවතින තත්වය පිළිබඳව අවධානය යොමුකිරීම සඳහා අප්‍රේල් මස 26 වන සිකුරාදා පස්වරු 03.00 ට සියළු ආගමික සහ දේශපාලන නායකයන්ගේ සහභාගීත්වයෙන් සර්ව පාක්ෂික සමුළුවක් පාර්ලිමේන්තුවේ දී කැඳවීමට ද විශේෂ කාරක සභාව විසින් තීරණය කරන ඇත.