මිනුවන්ගොඩ සිදුවීමට සම්බන්ධ 9 ක් රක්ෂිත බන්ධනාගාර ගත කරයි

මිනුවන්ගොඩ සිදුවීමට සම්බන්ධ 9 ක් රක්ෂිත බන්ධනාගාර ගත කරයි

14 May 2019 10:46 am

මිනුවන්ගොඩ ප්‍රදේශයේ කලහකාරී ලෙස හැසිරෙමින් සිටියදී අත්අඩංගුවට ගත් 13 දෙනාගෙන් පුද්ගලයන් 9 දෙනෙකු ලබන 29 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. ඒ ඔවුන් අද මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ පනතේ ප්‍රතිපාදන උල්ලංඝනය කිරීමේ චෝදනා මත හා හදිසි අවස්ථා රෙගුලාසි මත මෙම පුද්ගලයන් අධිකරණය වෙත ඉදිරිපත් කෙරිණි.

මේ අතර අත්අඩංගුවට ගත් අනෙක් සැකකරුවන් සිවු දෙනා අද පස්වරුවේ අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

අදාල සිදුවීම සම්බන්ධයෙන් තවදුරටත් පොලිස් පරීක්ෂණ පැවැත්වෙන අතර තවත් සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට ගැනීමට නියමිත බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසන්නේ.

මේ අතර වයඹ පළාත් සීමාවට අදාල පණවා තිබූ පොලිස් ඇදිරි නීතිය අද පස්වරු 04 ට ඉවත් කිරීමට තීරණය කර ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි. කෙසේ වෙතත් නැවතත් පස්වරු 06 සිට හෙට උදෑසන 06 දක්වා වයඹ ප‍ළාත තුළ පොලිස් ඇදිරිනීතිය ක්‍රියාත්මක වේ.