දැන්වත් ජනාධිපති හා අගමැති එක මතයක වැඩ කළ යුතුයි

දැන්වත් ජනාධිපති හා අගමැති එක මතයක වැඩ කළ යුතුයි

14 May 2019 10:51 am

ත්‍රස්ත ප්‍රහාරය එල්ල වුණු අවස්ථාවේ දී අතිශයින් සංවේදී වූ ජනතාව අතරින් පැන නොනැගුණු තත්ත්වයක් එයින් සති තුනකට පසුව මතුවීමෙන් පැහැදිලි වන්නේ මේ පිටුපස යම් සැලසුම්සහගත පටු වුවමනාවක් ක්‍රියාත්මක වන බව යැයි කථානායක කරු ජයසූරිය මහතා පවසයි.

ත්‍රස්තවාදය හමුවේ මෙරට ක්‍රියා කළ ආකාරය නිසා ලෝකයේ ගෞරවය හිමි වූ නමුත් හිංසාකාරී ක්‍රියා මගින් අපි යළිත් සමස්ත ලෝකයේම විශේෂයෙන්ම ශ්‍රී ලංකාව සමග මිත්‍රශීලීව කටයුතු කරන මැද පෙරදිග ඇතුළු ඉස්ලාම් මිත්‍ර රටවලත් පිළිකුලට භාජනය වීම වැලැක්විය නොහැකි බවයි කථානායකවරයා සඳහන් කරන්නේ.

එහෙයින් ජාතිවාදයේ සහ ආගම්වාදයේ වෛරයේ ගින්න ඇවිලීමට ඕනෑම ආකාරයේ දායකත්වයක් දෙන පුද්ගලයන් අප මාතෘ භූමියේ හෙට දිනය භාර ගැනීමට සූදානමින් සිටින දරුවන්ගේ අනාගතය ගිනි තැබීමට දායක වන්නන් බව කරු ජයසූරිය මහතා අවධාරණය කළේය.

පවත්නා තත්ත්වය හමුවේ ජනාධිපතිවරයාත් අගමැතිවරයාත් එක් මතයක සිට ජනතාවට පණිවිඩයක් බවද හෙතෙම කියාසිටියි.

"ජනාධිපතිතුමාටත් අගමැතිතුමාටත් මා යළිත් වරක් කියන්නේ එක මතයක සිට ජනතාවට පණිවිඩයක් දිය යුතු බව. ආරක්ෂක තත්ත්වය ගැන දිනපතා ආරක්ෂක ලේකම්, පොලිස්පති සහ හමුදා ප්‍රධානීන් එකට සිට කරුණු පැහැදිලි කළ යුතුයි. ජනතාව විශ්වාසය ඇති කළ හැක්කේ එවිටයි. ගිනිදැල් මෙන් පැතිරයන කට කතා නැවැත්විය හැක්කේ එවිටයි. මෙතෙක් ප්‍රකාශ වූ සෑම කට කතාවක්ම අසත්‍ය බව තහවුරු වුණා.

ඊයේ ඇති වූ සිද්ධින් මෙනෙහි කරද්දීත් දැඩි වේදනාවක් ඇති වනවා. මුස්ලිම් දේවස්ථානවලට පහර දීම, නිවාස හා කඩසාප්පු ගිනි තැබීම, අහිංසක මිනිස්සුන්ට පහර දීම කිසි ලෙසකින්වත් අනුමත කළ නොහැකියි. මෙම ක්‍රියාවන් සිදු කරන්නේ පැහැදිලිවම රට තවත් අගාධයකට යොමු කිරීමටයි. රට ගැන හැගීමක් ඇති කිසිම කෙනෙකුට මෙවැනි දේ කළ හැකි යැයි මා විශ්වාස කරන්නේ නැහැ. දැන් අවශ්‍ය බුද්ධිමත්ව ක්‍රියා කිරිමයි. මුස්ලිම් කටයුතු පිළිබඳ අමාත්‍යවරයා මුස්ලිම් ප්‍රජාවගේ ආශිර්වාදයෙන් ඥාණාන්විතව හා ඉවසීමෙන් දැනට ඇති වී තිබෙන ගැටළු විසදීමට කටයුතු කරනවා.

එමෙන්ම සාම්ප්‍රදායික ඉස්ලාම් කාන්තා ඇඳුම් ගැන මද්‍රසා පාසල්, උසස් අධ්‍යාපන ආයතන ආදී විවිධ ගැටළු සම්බන්ධයෙන් පැහැදිලි එකගතා ඇති වී තිබෙන අතර ඉදිරි සති කිහිපය තුළ විවාදයට තුඩු දුන් මෙවැනි කරුණු පැහැදිලිව නිරාකරණය කර ගැනීමට හැකිවනු ඇති බවයි කථානායකවරයා සඳහන් කරන්නේ.

අනාගත පරපුරේ ශාපයට ලක් නොවී මේ මොහොතේ සකලවිධ ජාතිවාදී හා ආගම්වාදී ක්‍රියාකාරකම් වලට එරෙහිව සාමකාමී ජනතාව සතු සාමූහික ශක්තිය අවධි කරන ලෙස සමස්ත ලක්වාසී ජනතාවගෙන් ඔහු වැඩිදුරටත් ඉල්ලා සිටියි.