ජනතාව නොසන්සුන්, ඇමතිවරු වගකීම් විරහිතයි ! රට යන්නේ කොයිබටද?

ජනතාව නොසන්සුන්, ඇමතිවරු වගකීම් විරහිතයි ! රට යන්නේ කොයිබටද?

14 May 2019 11:35 am

රජයේ ප්‍රබල අමාත්‍යවරු පවා මේ අවස්ථාවේදී වගකීම් රහිතව ප්‍රකාශයන් කිරීම තුළින් පෙනී යන්නේ රටේ පවතින තත්ත්වයේ බරපතලකම ඔවුන්ට අවබෝධ වී නොමැති බව යැයි අස්ගිරි පාර්ශවයේ අනුනායක පූජ්‍ය වෙඩරුවේ උපාලි හිමියන් පවසති. වර්තමානයේදී මෙම ගැටළුව විසඳාගැනීමට නොහැකි වුවහොත් අනාගතයේදී මහා විනාශයක් සිදුවනු ඇතැයි නිවේදනයක් නිකුත් කරමින් පූජ්‍ය වෙඩරුවේ උපාලි හිමිපාණන් සඳහන් කරයි.

මෙවැනි තත්ත්වයක් පැවතුණහොත් සෙසු බෞද්ධ රටවලට සිදු වූ ඛේදනීය අත්දැකීම ශ්‍රී ලංකාවට හිමිවනු ඇතැයි කී උන්වහන්සේ සිය නිවේදනයේ තවදුරටත් මෙසේ සඳහන් කරයි.

ශ්‍රී ලංකාවේ වත්මන් සමාජය ගිනිගොඩක පවතින බව අද වනවිට දැකිය හැකියි. මෙවන් අවස්ථාවක රජය නැණවත් බවින් සහ නිසි උපදේශනයෙන් යුතුව කටයුතු කළ යුතු වෙනවා. කාලයක් තිස්සේ සමාජය තුළ ඉස්මතු වෙමින් තිබුණු අන්තවාදයේ ප්‍රතිඵල අපට අද අත්විඳීමට සිදු වුණා. මේ අවස්ථාවේදී රජය ඊට හේතු මොනවාදැයි විනිශ්චය කළ යුතුයි. වහ වහා ඒ හේතු නැති කළ යුතුයි. අවසානයේ මේ බෞද්ධ රටට අත් වන්නේ වියට්නාමය, මාලදිවයින, පාකිස්තානය, ඉන්දුනීසියාව ආදි බෞද්ධ රටවලට අත්වුණු ඉරණම බව පැහැදිලිව පෙනෙන්නට තිබෙනවා.

මේ අවස්ථාවේදී අදාළ පුද්ගලයන් මෙන්ම අදාල ස්ථාන වහා නිරායුධ කළ යුතුව පවතිනවා. ආයුධ සන්නද්ධව සිටීම මෙන්ම මෙරට බෞද්ධ රටක් නොවන බව සමහර ඇමතිවරුන් කරන ප්‍රකාශ තුළින් පවා අපට පැහැදිලිව පෙනෙන්නේ රට තවත් ගිනි තැබීමකට රුකුල්දීමක් කරන බවයි. අද අප රටේ ක්‍රියාත්මක වන අන්තවාදී කල්ලි වලට ලොකු වුවමනාවක් තිබෙනවා, රටේ ජීවත්වෙන සියලු ජාතීන් මෙතෙක් රැකගෙන ආ සහෝදරත්වය, මිත්‍රත්වය, සහජීවනය නැති කර දැමීමට. ඔවුන්ගේ ඒ පටු පරමාර්ථ කෙසේ හෝ ඉටුකර ගැනීමට ප්‍රයත්න දරන මේ අවදානම් අවස්ථාවේ මහාසංඝරත්නය වශයෙන් අපත් සෙසු ආගමික පූජකතුමන්ලා ද මහජනතාව ඉතාමත්ම බුද්ධිමත්ව කටයුතු කළ යුතුව තිබෙනවා.

මෙහිදී මහා සංඝරත්නය වශයෙන් අප වෙත පැවරී තිබෙන සුවිශේෂ වගකීමක්. ඒ වගකීම එදත් තිබුණා, අදත් තිබෙනවා, හෙටත් තිබෙනවා. එදා වාරියපොළ ශ්‍රී සුමංගල හාමුදුරුවෝ රට වෙනුවෙන් ක්‍රියා කළේ තමන්ගේ සිවුර තුළ තිබෙන ඒ වගකීම නිසියාකාරව තේරුම් අරගෙනයි.

ලාංකිකයන් වශයෙන් අපට එකට ජීවත්වීමට, අපේ රටට ලොකුම ආශිර්වාදය වී තිබෙන්නේ වෙන කිසිවක් නොවේ, උතුම් බෞද්ධ දර්ශනයයි. මේ දර්ශනය නිසා රටේ අනිත් ක ආගම්වලට කිසිම බාධාවක් නැතිව ඔවුන්ගේ ආගම් පිළිපැදීමට ලොකු නිදහසක් ලැබී තිබෙනවා. එනිසා තමයි කාදිනල් පියතුමා ප්‍රකාශ කළේ මේ රටේ බෞද්ධාගම අනිකුත් ආගම් සියල්ලටම පැවතෙන්නට හැකියාව ලැබී තිබෙන බව.

ඒ වගේම මේ අවස්ථාවේදී ත්‍රස්තවාදීන් හඳුනාගැනීමට සහ අවි ආයුධ සොයා ගැනීමට සාමය අගය කරන මුස්ලිම් ජනතාවගෙන් ලැබෙන සහයෝගය අපි කිසිසේත්ම අමතක කළ යුතු නොවන කාරණයක් බව ද සැමදෙනාම සිහියේ තබාගත යුතු වෙනවා. ඉදිරියටත් සාමය අගය කරන මුස්ලිම් ජනතාවගෙන් ඒ සහයෝගය අපි බලාපොරොත්තු වෙනවා.

මේ අවස්ථාවේදී ජනතාවට සිටින්නේ බියෙක් හා චකිතයෙන් බවත් මුළු සමාජමය තුෂ්ණිම්භූතව සිටින බවත් අපිට පෙනී යනවා. මේ තත්ත්වය විසදීමට රජය වහා පියවර නොගත් නිසා ඇතැම් පිරිස් බුද්ධියෙන් තොරව හැඟීම්වලට මුල්තැන දී ක්‍රියා කිරීම නිසා ඇතැම් තැන්වල අනවශ්‍ය ගැටුම් ඇති වී තිබෙන බව පෙනී යනවා. රට අගාධයකට ඇද දමන මෙවන් ක්‍රියා තුළින් වාසි ලබන්නේ අන්තවාදීන් ත්‍රස්තවාදීන් බව කවුරුත් අවබෝධකරගත යුතුයි. මේ අවස්ථාවේදී ගිනි ගොඩක් මත දේශපාලනය කිරීම නතර කර සියලු නායකයන් එක්ව රටේ ප්‍රශ්න විසඳීමට පියවර ගන්නා ලෙස ඉල්ලා සිටින අතර එය ඔවුන්ට පැවරී ඇති විශාල වගකීමක් බවත් අවධාරණය කරනවා.

යම් සිදුවීමක් පසුගිය මස විසි එක් වෙනිදා මේ රටේ සිදු වුණා. සාමාන්‍ය ස්වභාවය නම් හානිය සිදු අවස්ථාවෙම ඊට ප්‍රතිවිරෝධතාව දැක්වීමයි. නමුත් සිදු වුණේ ඒ මොහොතේ නිහඬව සිට සති දෙක තුනක් ගතවූ පසු රටේ තැනින් තැන අභ්‍යාගසම්පන්න සිද්ධි වාර්තා වීමයි. ජනතාව කුපිත කරන මෙම වැඩපිළිවෙල කවුුරුන් විසින් කරන්නේ ද යන්න අභිරහසක්. ඒ නිසා කවුරුත් නොරැවටී බුද්ධිමත්ව ක්‍රියාකළ යුතු යැයි අස්ගිරි පාර්ශනයේ අනුනායක පූජ්‍ය වේඩරුවේ උපාලි හිමියන් වැඩිදුරටත් සිය නිවේදනයේ සදහන් කරයි.