හානියට පත් ජනතාවට අපි සහන සලසනවා

හානියට පත් ජනතාවට අපි සහන සලසනවා

14 May 2019 11:27 am

ගැටුම්වලින් ජනතාවට සහන සැලසීම පිළිබඳව කැබිනට් රැස්වීමේදී අවශ්‍ය තීරණ ගන්නා බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.

අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද (14) කුලියාපිටිය, හෙට්ටිපොළ සහ පඩුවස්නුවර ප්‍රදේශවල වත්මන් තත්ත්වය සොයා බැලීමට ගිය අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

ranil 01

හෙට්ටිපොළ මුස්ලිම් දේවස්ථානයට පැමිණ එහි තත්ත්වය නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව කුලියාපිටිය සහ පඬුවස්නුවර ප්‍රදේශයන්හි සංචාරය කර තිබේ.

ත්‍රස්තවාදීන්ගේ ක්‍රියාකාරකම් නිසා ඉරිදා පාස්කු දේව මෙහෙයන් කඩාකප්පල් වූ අතර මේ වන විට ක්‍රියාත්මක වී සිටින කඩාකප්පල්කාරී කණ්ඩායම් නිසා එළඹෙන වෙසක් උත්සවයත් විනාශ කිරීමට ඉඩදිය නොහැකි බවයි අගමැතිවරයා කියාසිටියේ. ඒ වෙනුවෙන් ගත යුතු සියලු ක්‍රියාමාර්ග ගැනීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කළ බවයි වික්‍රමසිංහ මහතා කියා සිටියේ.

"රටේ සාමය හා ආරක්‍ෂාව තහවුරු කිරීමට පොලීසියට සහ ත්‍රිවිධ හමුදාවට අවශ්‍ය සියලු බලතල ලබා දී තිබෙනවා. ත්‍රිවිධ හමුදා ප්‍රධානීන් සහ පොලිස්පතිතුමා ඒ පිළිබඳව ඊයේ ප්‍රකාශ නිකුත් කළා. අසරණ ජනතාවට කරදර හිරිහැර කරමින් වෙසක් උත්සවය කඩාකප්පල් කිරීමට අපි කිසි ලෙසකින්වත් ඉඩ ලබාදෙන්නේ නැහැ.

අවශ්‍ය ප්‍රදේශවලට පොලිස් ආරක්‍ෂාව ලබාදෙමින් වෙසක් උත්සවය සාමකාමීව සැමරීමට අවශ්‍ය කටයුතු සලසනවා. ඒ වෙනුවෙන් පොලිසියටත් ත්‍රිවිධ හමුදාවටත් සම්පූර්ණ සහයෝගය ලබාදෙන්න යැයි මම ජනතාවගෙන් ඉල්ලා සිටිනවා."

ranil 03

මෙම අවස්ථාවට මහාමාර්ග හා මාර්ග සංවර්ධන සහ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම්, එක්සත් ජාතික පක්‍ෂයේ මහලේකම් සහ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්, විදුලිබල බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක, නගර සැලසුම් ජලසම්පාදන සහ උසස් අධ්‍යාපන අමාත්‍ය රාවුෆ් හකීම්, අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජේ.සී. අලවතුවල, සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය ෆයිසාල් කාසීම්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන තුෂාර ඉදුනිල්, අලිසහිර් මවුලානා, ඉන්දික බණ්ඩාරනායක යන මහත්වරුන් ප්‍රමුඛ දේශපාලනඥයින් ඇතුළු පිරිසක් සහභාගි වී සිටියහ.

ranil 02